උපාසකම්මා – කෙටිකතාව


පාසල් බසයෙන් බැසගත් සංදීප පොත් බෑගය කරේ එල්ලා ගත්තේ ය. අනතුරුව පොලිතින් උරයක දමා තිබූ ඡායාරූපය සිය පපුතුරට තුරුලු කර ගත් දරුවා ගුරු පාර දිගේ සිය නිවෙස බලා පිටත් විය. සිතේ වූ විසල් සතුට නිසා ඔහුට හිරුගේ දැඩි රශ්මිය පීඩාවක් ලෙසින් නොදැණුනි.

“මේන් ෆොටෝ එක…”

පෙරමඟට පැමිණි අම්මාට හෙතෙම ඡායාරූපය දිගු කරමින් කීවේ ය. ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පාසලින් පිරිනමන ලද පදක්කමක් පැලැඳ සිනාසීගෙන සිටින පුතුගේ ඡායාරූපය දෙස බැලූ සුබෝධනීගේ සිතෙහි උපන්නේ බලවත් සෙනෙහසකි.

“හරි ලස්සනයි…”

ඕ දරුවාගේ හිස අතගෑවේ ඒ ආදරයෙනි.

“කොහෙද තියන්නේ?”

ගෙට ගොඩවෙමින් මව ඇසුවේ දරුවාගෙනි.

“ආච්චිගෙ ෆොටෝ එක අයින් කරමු.”

“තාත්ත බණීවි…”

සුබෝධනී කීවේ සිය ස්වාමියාගේ ස්වභාවය හොඳින් ම දන්නා නිසාවෙනි. පිළිතුරක් නොදුන් සංදීප සිය ආත්තම්මාගේ ඡායාරූපය රැගෙන ගොස් සිය කාමරයේ වූ පොත් රාක්කයේ ඉහළින් තැබුවේ ය. ඔහු නැවත සාලයට එන විටත් මව සිටියේ කල්පනාවේ ය.

“කෝ දෙන්න.”

මවගෙන් ඡායාරූපය ලබා ගත් හෙතෙම කුඩා ස්ටූලය මත තමාගේ ඡායාරූපය තැබුවේ ය. රාත්‍රී අඳුරත් රැගෙන ම ජානක නිවසට ඇතුළු විය. ඔහුගේ දෑස් එක්වර ම නැවතුනේ දරුවාගේ ඡායාරූපය මත ය. ඔහු තුළ සතුටකුත් අනතුරුව නොපහන් බවකුත් ඇති විය.

“කව්ද ආච්චිගේ ෆොටෝ එක අයින් කළේ?”

“මං…”

රූපවාහිනිය නරඹමින් සිටි සංදීප කීවේ ය. දරුවාගේ සිනාවට ජානකගේ සිත මොළොක් විය. සුබෝධනී පැමිණ ජානකගේ උරහිසේ වූ ගමන් බෑගය අතට ගත්තා ය.

“උඹලගෙ අම්මටත් ආත්තම්මගේ ෆොටෝ එක වැඩි වෙලයි තිබුණේ. හරියට උස්සගෙන ඉන්නව වගේ.”

විෂ පෙවූ තියුණු කිණිසි පහරකින් පහර ලැබූ කලෙක මෙන් සුබෝධනී වේදනාවට පත් වූවා ය.

“මං අයින් කරපු මඟුලක් නැහැ. පුතණ්ඩිය තමයි එපා කියද්දි අයින් කෙරුවෙ. උඹලගෙ තාත්තට ඉතිං කොහොමත් අපිට වඩා ලොකු අම්මවනෙ.”

ජානකගේ ඇඟේ හැපීගෙන ම සුබෝධනී මිදුලට බැස්සේ අත වූ ගමන් බෑගය ද පුටුවක් උඩට විසිකර දමමිනි. ජානක තවත් කිසිවක් නොකීවේ ය. වරද තමා අත ය. ඇඳුම් උනා දමා දිය නාගත් හෙතෙම පුරුදු තේ එක ලැබෙන තුරු බලා සිටින්නට විය. මිනිත්තු කිහිපයක් ගතව ගිය ද තේ එක ලැබෙන පාටක් නැත. ඔහුට සිය මව සිහි විය.

අම්මාට නම් බැණ්නා තියා ගැහුවත් කෑම බීම නම් වරද්දන්නේ නැත. ‘අම්ම මැරිල කොහෙ ගියා ද දන්නේ නැහැ. දැන් මාස පහක් විතර වුණානෙ. හීනෙන්වත් පේන්නෙ නැහැනෙ.’

“මැගිලින් උපාසිකාවට දරුවන්ගෙ පින් ඕන වෙන්නෙ නැහැ. උපාසිකාව තමන්ගෙ පරලොවට ඇති තරමට පින්කර ගත්ත කෙනෙක්. පන්සලට ආපු නොයෙක් වාරවල මගෙත් එක්ක කියල තියෙනවා ‘අනේ හාමුදුරුවනේ, මගෙ අතින් නම් පවක් කෙරෙන්නෙ නැහැ. අඩු තරමෙ මම උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැහැ’ කියලා. උපාසිකාව දැන් දෙවියන් අතර ඉපදිලා සැප විඳිනවා ඇති.”

හත් දවසෙ දානය දා පණ්ඩිත හාමුදුරුවන් කියූ දෙය මෙවෙලේ සිහිපත් කළ ජානක හිත හදා ගත්තේ ය.

“සලාං…”

“අම්මෝ…”

“දඩාස්…”

එක්වර ම සිය පුතුගේ කාමරය දෙසින් ඇසුණු ශබ්දවලින් තැතිගත් දෙමහල්ලෝ ම දරුවාගේ කාමරයට ගියා නොව පැන්නාහ.

“පුතේ…”

සුබෝධනී පුතුව සිය තුරුලට ගත්තී ය.

“ඇයි?”

ජානක දරුවා ව සිය තුරුලට ගත්තේ ය.

“ඔය වහලෙන් ගැරඬියෙක් වැටුණා. ආච්චිගෙ ෆොටෝ එකත් බිඳුණා. මාවත් බය වුණා. ඌ මීයෙකු ව අල්ලගෙන හිටිය නිසා මීය ව බේරන්න මං පුටුවෙන් ගැහුවා.”

දෙමහල්ලෝ බිම බැලුවේ එවිට ය. සිය මවගේ ඡායාරූපය බිඳී ඇත. පුටු පහරින් මැරී සිටින ගැරඬියාගේ කටේ සිටි මිය නොගිය මීයා තවමත් දඟලයි.

“ඒකට කමක් නැහැ.”

දරුවා ව සුබෝධනීට දුන් ජානක කෝටුවක් රැගෙන විත් මීයාව නිදහස් කළේ ය. කාමරය ද සෝදා පිරිසිදු කළේ ය. අනපේක්ෂිත සිදුවීමෙන් දෙමහල්ලන් අතර වූ විරසකය ද අවසන් විය.

ගැරඬියා මැරී වැඩි කාලයක් ගත නොවිණි. නිවස ම මීයන්ගේ කරදරයෙන් පිරුණි. එළියේ කිසිම කෑමක් බීමක් තබා ගත නොහැක. සංදීපගේ ඇඳුම් කිහිපයක් ම මීයන් විසින් කා දමා තිබුණි. ඔහුගේ ඡායාරූපයේ රාමුව මීයන් විසින් කෑවේ පෙරෙයිදා රාත්‍රියේ දී ය.

“මං පූසෙක් ව ගෙනාවා මීයන් ව අල්ලන්න.”

පූස් පැටියෙකුවත් තුරුලු කරගෙන පාසල් ගොස් පැමිණි සංදීප මවට කීවේ ය.

“පූසෙක් ද? පූසියක් ද?”

ඕ සතා දෙස විපරමින් බලමින් ඇසුවා ය.

“පූසෙක්. සෙනුරලාගේ ගෙදරින් ගෙනාවෙ.”

“මූ ගේ ඇතුළෙ ජරා කරන්න ගත්තොත් අස් කරන්නත් වෙයි. මට මේ තියෙන වැඩ හොඳට ම ඇති.”

“මං ඒක බලා ගන්නම්. ඔන්න එහෙනම් හරි හොඳේ.”

සංදීප පූසා ව අතහැරියේ මවගේ අනුමැතිය ලැබූ පසු ය.

ගතව ගියේ මාස දෙකකි. බළල් පැටියා ඉක්මනින් වැඩුණේ ය. ගෙදර පැවති මීයන්ගේ කරදරය සහමුලින් ම අවසන් විය. කාගෙත් ආදරය බළල් තඩියාට ලැබුණි.

සංදීපට සෙල්ලම් කිරීමට මිතුරෙකු ලැබිණ. ඔහු දවස පුරා ම බළලා සමඟ සෙල්ලම් කළේ ය. බොහෝ අවස්ථාවල නිවසේ වටිනා භාණ්ඩවලට හානි සිදු විය. මුල දී ඒවා ඉවසූ දෙමහල්ලෝ පසුව සංදීපට දඬුවම් කළහ. නමුත් තත්ත්වයේ වෙනසක් නැත. අවසන දිනෙක රාජකාරිය සඳහා පිටත්ව ගිය ජානක බළල් තඩියාව ද රැගෙන ගොස් මහමඟ දමා ගියේ ය.

සංදීප තව තවත් මුරණ්ඩු විය. දෙමාපියන් සමඟ එකට එක කීම ද දෙමාපියන්ට අතට හසුවන දෙයින් දමා ගැසීම ද ඔහු අතින් සිදු විය. සංදීප දෙමාපියන් වෙතින් ගුටි නොකෑ දවසක් නොවන තරම් ය.

“මෙයාට ඉගෙන ගන්න පුළුවන් උනාට වැඩක් නැහැ. පංතියට ම විශාල කරදරයක්. තව ටික දවසක් බලලා පාසලින් අස් කරනවා.”

ජානක ව දෙවරක් පාසලට කැඳවා පංතිභාර ගුරුවරිය දැනුම් දුන්නා ය. තවත් දිනෙක අසල්වැසි කාන්තාවක් නිවසට ම පැමිණ සුබෝධනීට බැණ වැදුනේ තමන්ගේ නිවසේ මාළු ටැංකියට සංදීප විසින් භූමිතෙල් දැම්මේ යැයි කියමිනි.

නිවසේ සන්සුන් බව බිඳිනි. දෙමහල්ලෝ දරුවා නරක් කරන ලද්දේ යැයි එකිනෙකාට චෝදනා කර ගනිමින් නිතර නිතර විරසක වූහ. සංදීප ව දෙමාපියන්ටත්, පාසලටත්, අසල්වාසීන්ටත් එපා විය. ගුටි කෑමත්, පීඩනයත් නිසා ම දරුවා කෙසඟ ව ගියේ අව්වේ දැමූ ළපටි උණ බටයක් හැකිළී යන්නාක් මෙනි.

“කොල්ලගේ හඳහනවත් බලපං…”

කාර්යාලයේ මිතුරෙකු ජනකට උපදෙස් දුන්නේ ය.

“ඔය බහුභූත නෙවෙයි. මං කියන්නම් තැනක්. එතන ඉන්න හාමුදුරුවන්ට ගිහින් විස්තරේ කියපං. උඹට විසඳුමක් ලැබෙයි.”

තවකෙකු කීවේ ය. ජනක ඒ දෙක ම කළේ ය.

“දරුවට ඉතා ම අපලයි. පරෙස්සම් කර ගන්න වෙයි.”

හඳහන් බලන්නා එසේ කීවේ ය.

“මේ දරුවා නරක කෙනෙක් නොවෙයිනෙ. මේ යසට ඉන්නෙ.” මිතුරා කියූ ස්වාමීන් වහන්සේ දරුවා ව තමා ළඟට ගනිමින් කීවේ ය.

“මේ දෙමව්පියෝ දරුවත් අරන් රුවන්වැලි මහ සෑයට ගිහින් තුනුරුවන් වැඳලා දෙවියන්ට පින් දීල දරුව ව මහ සෑයට පූජා කරන්න. උදේ හවා ගෙදර තුනුරුවන් වැඳලා දෙවියන්ට පින් දෙන්න. ඒ හැම වෙලාවෙදිම ආලවක පිරිත කියන්න.”

“හාමුදුරුවනේ ආලවක…?”

“බය වෙන්න එපා. දෙවි කෙනෙක්. බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයන් ව ආරක්ෂා කරන්නෙ තාත්ත කෙනෙක් වගෙයි. වෙනසක් වෙනව ම යි.”

තුන්දෙනා අත ම පිරිත් නූල් බැඳුණි. දවසක් තුළ තත්ත්වයේ පැහැදිලි වෙනසක් දකින්නට හැකි වූයෙන් සති අන්තයේ ඔවුන් මහසෑය වඳින්නට ගියේ උපදෙස් දුන් ස්වාමීන් වහන්සේ ව ද බලවත් ලෙස පෙරැත්ත කිරීමෙන් පසුව ගමනට සම්බන්ධ කර ගනිමිනි.

“මට බැහැ. මං යනවා.”

මහ සෑ බිමට ඇතුල් වූ විගස ම සංදීප ආපසු හැරුණේ ය. ජානක දරුවාගේ අත දැඩිව අල්ලා ගත්තේ ය. මොහොතකින් දරුවා මායම් වන්නට විය.

“මොකද මේ…?”

ස්වාමීන් වහන්සේ දරුවාගේ අනිත් අතින් අල්ලා ගත්තේ ය.

“උඹ නම් මාව අල්ලන්නෙපා. මේ මාව පිච්චෙනවා. මාව අතහැරපල්ලා. මට යන්න ඕන.”

සංදීප දඟලන්නට විය. සුබෝධනී බියපත් ව වෙව්ලන්නට වූවා ය.

“දරුවා ව වාඩි කරවලා මහත්තයා අල්ල ගන්න. මං පිරිත් කියනවා.”

“එපා එපා පිරිත් නම් කියන්නෙපා…”

සංදීප කෑ ගැසුවේ ය. වන්දනාකරුවන් කිහිප දෙනෙකු ද වටේ රොක් විය.

“කව්ද මේ? කව්ද මේ දරුවගෙ ඇඟට ඇවිත් කරදර කරන්නෙ? නොකිව්වොත් ආටානාටිය කියල වෙසමුණි දෙවියන්ට භාර දෙනව අච්චු කරන්න.”

ස්වාමීන් වහන්සේ තදින් කීවේ ය.

“මං මුගේ ආච්චි.”

“අනේ අම්මේ, ඇයි මගෙ දරුවට වද දෙන්නෙ? මං හිතුවෙ අම්ම හොඳ තැනකට ගියා කියලයි.”

ජානකගේ ස්වරය හැඬුම්බර විය. සුබෝධනීගේ සිත තරහින් පිරුණි.

“පුතේ, මං සිල් ගත්තට හිත අපිරිසිදු කර ගත්තා. හිත නීච කර ගත්තා. මස් මාළු කන එවුන් දකිද්දී මං තරහින් පිපිරුණා. පන්සලේ හාමුදුරුවෝ ගැනත් එහෙමයි. අයියෝ මට වෙච්ච දේ. නීච දේවල් හිතේ පුරවගෙන මැරිලා නීච වෙලා ම යි ඉපදුණේ. අපේ ගෙදර ම ගැරඬියෙක් වෙලා.”

සුබෝධනීට වහා නිවසේ සිටි ගැරඬියා ව සිහි විණි.

“මං ගෙදර තිබුණ හැම දෙයක් ම අඳුනගත්ත. දවසක් මූ මගේ ෆොටෝ එක අයින් කරල මුගේ එක තියා ගන්නවා මං බලාගෙනයි හිටියේ. එවෙලෙ මට තරහ ආවා. එදා රෑ මං මීයෙක් ව අල්ලගෙන ඉන්නකොටයි බිම වැටුණෙ. මං මීයා ව කන්න ආසාවෙන් හිටියෙ. එවෙලෙත් මූ මට ගහල මැරුවා. මං ආයෙම ගෙදර ම යි ඉපදුණේ මීයෙක් වෙලා.”

කථාව නතර කළ දරුවා වටපිට බැලුවේ අමුතු ලෙස ය. ඔහුගේ කටේ දෙකෙළවරින් කෙළත්, සෙමත් පිට විය. ජානක ඒවා සියතින් පිස දැම්මේ ය.

“ඊට පස්සේ?”

“ආයෙත් මට ඔක්කොම මතක් වුණා. මං මුගේ රෙදි කෑවා. ෆොටෝ එකත් කෑවා. ඊට පස්සෙදි මූ ගෙනාපු බළල් තඩියා දවසක් රාත්තිරියෙ මාව අල්ලගෙන මැරුවා. ඊට පස්සෙ තමයි මට මෙහෙම වුණේ. මට මූ එක්ක තිබුණෙ පුදුම තරහක්. මට මූව මරාගන්න විදිහක් තිබුණෙ නැහැ. මූ කාටූන් බලනකොට මුගෙ හිත බය වුණු වෙලාවක් බලල මං ඇඟට රිංගා ගත්තා. හැමෝගෙන් ම ගුටි කන වැඩ මූ ලව්ව කරවල මූට ගස්සවන්නයි මට ඕන වුණේ.”

“අනේ හාමුදුරුවනේ, මගේ දරුව ව බේරලා දෙන්න.”

සුබෝධනී හඬා වැටුණා ය. නොකීවාට ජානකගේ සිතෙහි වූයේ ද එය ම පමණකි.

“හොඳයි… අපි දැන් තමුන්ට තුනුරුවන් වැඳලා පින් දෙනවා. ඒ පිනත් අරගෙන ඔතනින් චුත වෙලා හොඳ තැනකට යන්නෝන ආයෙත් මේ දරුවට කරදර කරල පව් පුරවා ගන්නෙ නැතුව. නැති නම් අපි තමුන්ව බැඳලා දානවා.
දානයක් දීල පින් දුන්නොත් පින් ගන්න පුළුවන් ද?”

“බැහැ හාමුදුරුවනේ බැහැ. මං දන් දුන්නෙ හිතේ පැහැදීමෙන් නෙවෙයි. ඒ නිසා මට ඒ පින් ගන්න බැහැ. අනේ මට බඩගින්දරෙන් අවුරුදු දහස් ගාණක් මේ විදිහටයි ඉන්න වෙලා තියෙන්නෙ.”
දරුවාගේ ස්වභාවය ඉතා දුක්ඛිත එකක් විය.

“මොකද කියන්නෙ? දරුව ව අතහැරල යනව ද? වෙසමුණි දෙවියන්ට මම කියන්න ද?”

ස්වාමීන් වහන්සේ පිරිත් නූල් පන්දුව අතට ගනිමින් ඇසී ය.

“මං යන්නම්.”

“ආයෙත් එන්න බැහැ. පොරොන්දු වෙලා යන්නෝන. මෙතන වෙසමුණි දෙයියො ඉන්න තැන.”

“අනේ මං යන්නම්. මං යන්නම්.”

දරුවා නිසොල්මන් විය. වෙහෙසකාරී බව පමණකි ඔහු තුළ වූයේ. සුබෝධනී සංදීප ව තුරුලු කොටගෙන සිඹින්නට වූවා ය.

“මහත්තයෝ ඔන්න සසර. ඔහොම ගමනක අපිත් ආවෙ. ඔහොම ගමනක අපිටත් යන්න තියෙන්නෙ. මේකෙන් නිදහස් වෙන්න තියෙන්නෙ ඔය නිසයි. සුදු රෙද්දෙන් හිතේ කුණු වහන්න බැහැ. හිතයි පිරිසිදු කරගන්නෝන.”
“එහෙමයි හාමුදුරුවනේ.”

ජානක කීවේ ඉතා යටහත්පහත් ලෙසිනි.

“අපි දැන් තුනුරුවන් වැඳලා හැමෝගෙම ජීවිත මහසෑයටයි, තුනුරුවන්ටයි පූජා කරමු. ආරක්ෂාව ලැබෙනවා ම යි.”

ස්වාමීන් වහන්සේ පිරිත් නූලක් ගෙන සංදීපගේ අතෙහි ගැට ගැසී ය. දරුවා අහිංසක ලෙස සිනාසුණි.

– නිමි –

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

The post උපාසකම්මා – කෙටිකතාව appeared first on MAHAMEGHA.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here