තමන්ට හරියටම ගැලපෙන Fitness Tracker එකක් තෝරාගන්නේ මෙහෙමයි – Hela FM Media


නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උනන්දු වෙන ගොඩ දෙනෙක් මේ වෙද්දි වෙයාරබල් ටෙක්නොලොජි (Wearable Technology) වල සහය ලබාගන්න පෙළඹිලා. දවසින් දවස තාක්ෂණයන්ගෙන් අලුත් වෙන ෆිට්නස් ට්‍රැකර්ස් (Fitness Trackers) ගැනත් ගොඩක් දෙනෙක් උනන්දුයි. වර්තමානයේ අපි ගතකරන කාර්යබහුල ජීවිතයත් එක්ක අපේ ශරීර සුවතා ව්‍යායාම වල යෙදෙන්නට වත්, අපේ සිරුරට දෛනිකව ලැබෙන සහ දහනය වන කැලරි ප්‍රමාණ ගැන අවධානයෙන් ඉන්නටවත් අපිට වැඩි ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් අපිට සහයක් වන්නටත්, නිරෝගී සහ ක්‍රියාශීලී දිවි පෙවෙතක් කෙරෙහි අපේ සිතේ පෙළඹවීමක් ඇති කරන්නටත් උපකාරී වියහැකි දෙයක් තමයි මේ ෆිට්නස් ට්‍රැකර්ස් කියන්නෙ.

ඉතින් අපි හිතමුකෝ අපිට ෆිට්නස් ට්‍රැකර් එකක් මිලදී ගන්න හිතුනාය කියලා. එතකොට කෙලින්ම කඩේට ගිහින් මේකක් අරන් ආවම හරිද? මොනවද අපි මේ ෆිට්නස් ට්‍රැකර්ස් ගැන දැනගන්න ඕනේ? අපිට හරියටම ගැලපෙන ෆිට්නස් ට්‍රැකර් එකක් තෝරාගන්නේ කොහොමද?

අන්න ඒ ගැනයි මේ කියන්න හදන්නේ.

 

1. තමන්ගේ ඉලක්කය මුලින්ම තේරුම් ගන්න
Source – wired.com

ෆිට්නස් ට්‍රැකර් එකක් මිලදී ගනිද්දි මුලින්ම හිතන්න ඕනෙ දෙය තමයි ඔයාගෙ ෆිට්නස් ඉලක්කය මොකක්ද කියන එක. ඔයා ශරීර සුවතාවය පවත්වාගන්න කරන්නෙ දුවන එක, ඇවිදින එක වගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් නම් ඉතාම සරළ ඕනෑම ෆිට්නස් ට්‍රැකර් එකක් ඔයාට ගැලපේවි. ඒ මගින් දිනපතා සරළ ව්‍යායාම වල නියැලෙන ගමන් තමන්ගේ ෆිට්නස් ඉලක්ක සම්පූර්ණ කරගනිමින්, කැලරි දහනය කරගනිමින් ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යන්න ඔබට පුලුවන්. හැබැයි ඔයා ඊට වඩා ක්‍රියාශීලී ක්‍රියාකාරකම් වල නිරත වෙන්න හිතන් ඉන්නවානම්, ඒ කිවුවෙ පිහිනීම, බයිසිකල් පැදීම සහ ව්‍යායාම උපකරණ භාවිතයෙන් කරන ව්‍යායාම වල නිරත වෙන්න හිතන් ඉන්නවානම් ඒ ක්‍රියාකාරකම් වලින් ලැබෙන ප්‍රතිඵල මැනීම සඳහා උදවුවෙන Heart Rate Monitoring, GPS සහ Automatic Activity Recognition වැනි දියුණු තාක්ෂණයන්ගෙන් යුක්ත ෆිට්නස් ට්‍රැකර් එකක් තෝරාගැනීම සුදුසුයි.

 

2. වෝටර් පෘෆ් වෙන්න ඕනෙද?
Source – wareable.com

පිහිනීමේ ක්‍රියාකාරකම් වල එහෙම නිරත වෙන කෙනෙක්නම් අනිවාර්යයෙන් වෝටර් පෘෆ් ෆිට්නස් ට්‍රැකර් එකක් භාවිතා කරන්න ඕනෙය කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒ වගේම තමයි ඔයා නාද්දි කරද්දි උනත් මේ ෆිට්නස් ට්‍රැකර් එක ශරීරයෙන් ඉවත් කරන්න කැමති නැත්නම් එතකොටත් වෝටර් පෘෆ් ට්‍රැකර් එකක් භාවිතා කිරීම වඩාත් ගැලපෙයි.

 

3. පෙනුම ගැනත් හිතන්න
Source – gadgetsin.com

ෆිට්නස් ට්‍රැකර් එකක් කියන්නෙ නිතරම අපේ ශරීරයේ, වැඩි හරියක්ම ගත්තොත් අපේ අතේ පැළඳගෙන සිටිය යුතු උපාංගයක්. අන්න ඒ නිසයි පෙනුම ගැනත් හිතන්න කියල කියන්නෙ. විවිධ ප්‍රමාණ සහ විලාසිතා වලින් යුතු ෆිට්නස් ට්‍රැකර්ස් බොහොමයක් වෙළපොලේ තියනවා. ඒ අතරින් ඔබේ ක්‍රියාකාරකම් වලට ගැල‍පෙන ට්‍රැකර් එක තෝරාගැනීමෙන් පස්සෙ දෙවැනුවට ඒ ට්‍රැකර් එකෙන් ඔබේ බාහිර පෙනුමට හානියක් සිද්ධ වෙනවද කියලත් හිතන්න ඕනෙ. උදාහරණෙකට ගත්තොත් කෙට්ටු අතක් තියන කෙනෙක් ප්‍රමාණයෙන් ලොකු ෆිට්නස් ට්‍රැකර් එකක් අතේ දාගෙන හිටියොත් ඒකට අනවශ්‍ය අවධානයක් ලැබෙන්න, විහිලු සහගත විදිහට පේන්න පුලුවන්. ඒ නිසා පුළුවන්නම් තමන්ගේ ශරීරයට සහ අඳින පළඳින විලාසිතා වලටත් හානියක් නොවෙන විදිහේ ෆිට්නස් ට්‍රැකර් එකක් තෝරාගන්න බලන්න. මෙතැනදී ෆිට්නස් බෑන්ඩ් එකක් හෝ වොච් එකක් හැටියට එන ෆිට්නස් ට්‍රැකර් එකක් ඔබට ගැලපෙන පරිදි තෝරගන්න පුළුවන්. අත් වල පැළඳගෙන ඉන්න එක හිරිහැරයක් නම් ශරීරයේ වෙනත් ස්ථාන වල රැඳවිය හැකි ෆිට්නස් ට්‍රැකර්සුත් දැන් වෙළඳපොලේ තියන බව මතක තියාගන්න.

 

4. ස්ක්‍රීන් එකක් ඕනෙද නැද්ද?
Source – wareable.com

ෆිට්නස් ට්‍රැකර් එකක් ගන්න කලින් මේ ගැනත් අදහසක් තියාගත්තොත් හොඳයි. ව්‍යායාම වල නිරත වෙන ගමන් ඒ සම්බන්ධ දත්ත විමසන්න සහ කාලය විමසන්න කැමතිනම් ඩිස්ප්ලේ ස්ක්‍රීන් එකක් සහිත ෆිට්නස්  ට්‍රැකර් එකක මිලදී ගත්තට කමක් නැහැ. ඔයාගෙ ස්මාට් ෆෝන් එක මගින් එවන මැසේජ් සහ නොටිෆිකේෂන් උනත් කියවන්න පුළුවන් ෆිට්නස් ට්‍රැකර්ස් තියනවා. හැබැයි ඉතින් මේවායේ කොලිටිය වැඩිවෙන්න වැඩිවෙන්න බැටරි ඉක්මනින් බැසයාම සිදුවෙන්න පුළුවන්.

අනිත් අතට ගත්තහම ඔයාට නිතරම තමන්ගේ ව්‍යායාම වල ප්‍රගතිය පරික්ෂා කරන්න අවශ්‍යතාවයක් නැතිනම් ඩිස්ප්ලේ එකක් නැති බෑන්ඩ් එකක් ගන්න එක වඩා සුදුසුයි. ඩිස්ප්ලේ ස්ක්‍රීන් එකක් නැතත් තමන්ගේ ෆිට්නස් ට්‍රැකර් එකේ ඇප් එක හරහා තමන්ගෙ ස්මාට් ෆෝන් එකෙන් මේ තොරතුරු ලබාගන්න ඔබට පුළුවන්.

 

5. ට්‍රැකර් එකේ මොබයිල් ඇප් එක ගැනත් හිතන්න
Source – pbs.org

වර්තමානය වෙද්දි ෆිට්නස් ට්‍රැකර්ස් බහුතරයක් ඇන්ඩ්‍රොයිඩ් සහ iOS යන දෙකටම ගැලපෙන විදිහට තමයි සකස් වෙලා එන්නෙ. ඒ උනත් කෝකටත් කියලා, මිලදී ගන්න කලින් ෆිට්නස් ට්‍රැකර් එකේ ඇප් එක තමන්ගෙ ස්මාට් ෆෝන් එකේ අවුලක් නැතිව වැඩ කරනවද කියලත් විමසලා බලන්න. ෆිට්නස් ට්‍රැකර් එකක් භාවිතා කිරීමේදී අපේ ක්‍රියාකාරකම් වල දත්ත පැහැදිළිව සහ නිවැරදිව අපි වෙත ලබාදෙන සංකීර්ණ නොවන ඇප් එකක් එය සතු නම් එයත් වාසිදායක තත්ත්වයක්.

 

6. බැටරි තත්ත්වය
Source – technobezz.com

ෆිට්නස් ට්‍රැකර් වලට විවිධ කාල පරාසයන්ගේ බැටරි ලයිෆ් සහිතව බැටරි පැමිණෙනවා. දින දෙක තුනක්, සතියක්, සති කීපයක් හෝ මාස ගණනක් භාවිතා කල හැකි ඒවා හැටියට එන බැටරි තිබෙනවා. තාක්ෂණයෙන් ඉහල, සෙන්සර් වැඩි ෆිට්නස් ට්‍රැකර් එකක ඉක්මනින් බැටරිය බැස යාමටත් හැකියාව තියනවා. නිතර නිතර චාර්ජ් කිරීමට සිදු නොවන බැටරි ආයු කාලයකින් යුතු ෆිට්නස් ට්‍රැකර් එකක් භාවිතා කිරීම වඩාත් සාර්ථකයි කියලා කියන්න පුලුවන්. මොකද නැතිනම් නිතරම ෆිට්නස් ට්‍රැකර් එක ශරීරයෙන් ඉවත් කිරීම නිසා වැදගත් දත්ත ගිලිහී යන්න ඉඩ තියනවා.

 

7. බජට් එක ගැනත් හිතන්න
Source – harveynorman.com.au

අලුත් අලුත් ෆීචර්ස් සහිත ෆිට්නස් ට්‍රැකර් ලෝකේ අතරමං වෙන්න ගියොත් ඉතින් සාක්කුවට සෑහෙන හානියක් කරගෙන වැඩේ අහවර වෙන්න ඉඩ තියනවා. අන්න ඒ නිසා තමන් මේ සඳහා වෙන් කරන්න බලාපොරොත්තු වෙන මුදල ගැනත් හිතන්න. ඊට පස්සේ තමන්ගේ නියමිත අවශ්‍යතාවන්ට සරිලන ෆිට්නස් ට්‍රැකර් එකක් තෝරගන්න බලන්න. තියෙන තරම් අලුත් සෙන්සර්, හයි රෙසලූෂන් ඩිස්ප්ලේ වගේ දේවල් අත්‍යාවශ්‍යම නැතිනම් අතහරින්න. නැතිනම් ඒකෙන් ෆිට්නස් ට්‍රැකර් එකේ බැටරියත්, ඔබේ පර්ස් එකත් හිඳී යන්න පුළුවන්. තමන්ට එතරම් වැදගත් නැති වැඩ කෑලි වෙනුවෙන් අනවශ්‍ය මුදලක් වියදම් කරන එකේ තේරුමක් නැහැනෙ.

 

8. අන්තර්ජාලයෙනුත් විමසීමක් කරන්න
Source – bigthink.com

තමන්ගේ අවශ්‍යතාවයට හරියටම ගැලපෙන ෆිට්නස් ට්‍රැකර් එක මෙන්න මේකයි කියලා තේරුම් ගත්තට පස්සෙත් ඒක මිලදී ගන්න කලින් තව පොඩි දෙයක් කරල ඉන්න එක හොඳයි. ඒ තමයි අදාල ෆිට්නස් ට්‍රැකර් වර්ගය භාවිත කරන්නන් ඒ ගැන දක්වලා තියන අදහස් විමසලා බලන එක. පොඩ්ඩක් අන්තර්ජාලේ පිරික්සල, ඔබ මිලදී ගන්න හිතන් ඉන්න විදිහේ ෆිට්නස් ට්‍රැකර් එකක් භාවිතා කරන අය ඒ ගැන කියල තියන ගුණ දොස් ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙලාම ඉන්න.

 

9. කොහෙන්ද ගන්න තියෙන්නෙ?
Source – thesweethome.com

ෆිට්නස් ට්‍රැකර් එකක් ගන්න හිතන් ඉන්නවානම් පහත සඳහන් වෙබ් අඩවි සහ ආයතන හරහා ඔබට ගැලපෙන තෝරාගැනීමක් කරන්නට පුළුවන් වේවි.

GOYO Sri Lanka – මේක ලංකාවේ සමාගමක් විසින් හඳුන්වලා දීපු ෆිට්නස් ට්‍රැකර් එකක් සහ ඇප් එකක්. තමන්ගේ ෆිට්නස් ඉලක්ක වලට ළඟා වෙන්න විතරක් නෙමෙයි. යාලුවොත් එක්ක තරඟ කරන්නත්, රිවෝඩ්ස් දිනාගන්නත් පුළුවන්. මේ ෆිට්නස් ට්‍රැකර් එක සහ ඇප් එක දැරිය හැකි මිලකින් යුක්ත වීමත් විශේෂයි.

Garmin Sri Lanka – ඔබ තරමක් ඇඩ්වාන්ස්ඩ් පැත්තේ ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙනවනම් Garmin ෆිට්නස් ට්‍රැකර් එකක් ඔබට වඩාත් ගැලපෙයි. විවිධ මාදිලියේ ෆිට්නස් වෙයාරබල්ස් රැසක්ම ඔවුන්ගේ වෙබ් අඩවිය සතුයි.

Xiaomi Sri Lanka – Xiaomi Mi Band 1 සහ Xiaomi Mi Band 2 යන ෆිට්නස් බෑන්ඩ්ස් ඔබට Xiaomi.lk වෙතින් මිලදී ගැනීමේ හැකියාව තියනවා.

Samsung Gear Fit 2 – හොඳ ස්පෝර්ටි පෙනුමකින් යුක්ත මේ සැම්සන්ග් නිෂ්පාදනය iOS වලටත් සපෝර්ට් කරනවා. මිලෙන් නම් ටිකක් වැඩියි. මෙය ඔබට wow.lk වෙතින් මිලදීගන්න පුළුවන්.

Fitbit Charge 2 – Takas.lk වෙතින් මිලදී ගන්න පුළුවන් මේ ෆිට්නස් ට්‍රැකර් එකේත් මිල නම් ටිකක් ඉහලයි.

Cover Image Source – blog.reship.com



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here