බුදු පිළිමය – කෙටි කතාව

0
12


කිහිපවරක් ඇඟ තෙමා ගත්ත ද දාහයේ අඩුවක් නොවුණ නිසා මම ටකරන් දොර මෑත් කොට එළියට බැස ගතිමි. තනිකර ම ටකරන්වලින් නිමවා තිබූ නිවසින් එළියට බසිත් ම මට කිසියම් සුවදායක බවක් දැනෙන්නට විය. නිවස වටා සිටවා තිබූ වියළී ගිය තල් අතු උඩින් මුහුදු සුළඟ යාන්තමට ඇඟේ හැපිණි.

හාත්පස ඇත්තේ සොහොන් පාළුවකි. මෝටාර් ෂෙල් වෙඩි කාලතුවක්කු ප්‍රහාරවලින් දැවී ගිය තල් යායේ අඩක් ඉතිරි වූ තල් කඳන් කළුවර අවතාර ලෙසින් හිස් අහසට නැඟි සිටින්නේ ශාපලත් යුද්ධයේ අඳුරු සෙවණැලි මේ යැයි කියන්නාක් මෙනි. ඒ අවතාර අතර මගේ තාත්තාත්, අක්කාත් ඇත.

“මට ඊළමක් එපා. මට මගේ දරුවො දෙන්නව හදාගත්තම ඇති. උන්ට මේ රටේ ඉඩක් තියෙනවා.”

තාත්තා අම්මාට නිතර කියනු මම අසා ඇත්තෙමි. මම ඊළමක් ගැන එදා නොදත්තෙමි. අද ද නොදන්නෙමි. ඊළම යනු මට නම් පුතුන්ට තාත්තලාවත්, සොහොයුරන්ට සොහොයුරියන්වත් අහිමි කරන ශාපයක් පමණි. ඒ ශාපය ම, නොපැතූ ඊළම ම තාත්තාවත්, අක්කාවත් බිලිගත්තේ විය.

ඇත්තටම අපට අසාධාරණයක් වුණා ද? නැති අසාධාරණයක් මවාහල අපේ නායකයො මේ මහ විනාශයට තල්ලු කළා ද? මම මිට මොළවා ටකරන් බිත්තියට වේගවත් පහරක් ගැසුවෙමි.

“බාලා… කව්ද? මොකද මේ?”

බියපත්ව එළියට පැනගත් අම්මා මා දැක ඇසුවා ය. මම තවමත් සිටින්නේ ටකරම තදින් තෙරපවාගෙන ම ය.

“මිනිස්සු ඇයි පොළොවකට මරාගන්නෙ?”

සිය වතාවකටත් වඩා මම මේ ප්‍රශ්නය අම්මාගෙන් අසා ඇත්තෙමි.

“මන් දන්නෙ නෑ.”

හැමදාම ලැබෙන පිළිතුර අදත් ලැබුණි. අප අතර දිගු නිහැඬියාවක් පැවතුණි. අම්මා මුහුද දෙසට හැරී මිදුලේ ඉඳගත්තා ය. මම ඇගේ පිටට හේත්තුව ඉඳගතිමි. අප සිටියේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට මුහුණලාගෙන ය.

“අපි සතුටින් හිටිය කියල මට මතකයි.”

“අම්මල විතර ද?”

“නැහැ. හැමෝම වගේ…”

“ඒ සතුටට ගිනි තියන්න ඇයි තව කාටවත් ඕන වුණේ?”

හිස් අහසින් ඇසුවා නම් පිළිතුරක් ලැබෙනු ඇත. අම්මා ඊටත් වඩා නිහඬ ව පසු වූවා ය.

“අම්මා මට හංගන දෙයක් තියෙනවා” මම කීවෙමි. මගේ වචනවල පෙර මෙන් කලබලයක් නොවිණි.

“ඕව ගැන හිතන්නෙපා. හොයන්නෙපා. එකක් මතක තියාගනිං. මට උඹත් නැති වුණොත් මේ ලෝකෙ ජීවත් වෙන්න වෙන මොකුත් ම නැති විත්තිය.”

අම්මාගේ වචන මා ව අසරණ කරයි.

“මගේ ජීවිතේ හිඩැසක් තියෙනවා.”

“කසාදයක් බැඳගනිං.”

අම්මා එක්වර ම කීවා ය.

“එහෙම එකක් නෙවෙයි. මට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. මං කසාද බඳින්නෙ නැහැ.”

“ඇයි?”

“තවත් අනාථ දරුවො මේ ලෝකෙට ගේන්න මට බැහැ. ඒ දුක මං විඳිනවා.”

මගේ සිතුවිලි ආයෙම උණුසුම් විය. වචන වේගවත් විය.

“උඹේ දරුවො අනාථ වෙනවා කියල උඹ කොහොමද කියන්නෙ?”

අම්මා අඩකවයක් හැරී මගේ මුහුණට එබී ඇසුවා ය.

“අම්මට තේරෙන්නෙ නැද්ද මිනිස්සුන් ව අවලංගු කාසි බවට පත්වෙලා. බල්ලො බළල්ලු ගානට මිනිස්සු ගැන හිතන්නෙ. ඇත්තටම අපි මනුස්ස ලෝකෙ අනාථ වෙච්ච මනුස්සයො නෙවෙයි ද?”

පිළිතුරක් නොදත් අම්මා නිවසට රිංගා ගත්තා ය. ආයෙම එළියට පැමිණි අම්මා “අපි මෙහෙන් යන්න ඕන.” කියා හදිසියේ ම යා යුතු ගමනක් ලෙසින් කීවා ය.

“අම්මා නිදාගන්න. උදේට බලමු” මම සිනාසී කීවෙමි. අම්මා නොනිදන බව මම දනිමි. කාලය ගෙවී යන්නේ සෙමිනි. මම උදැල්ලක් රැගෙන වත්ත කෙළවරට ගියෙමි.

“හිතේ කේන්තියට ද පොළොව කොටන්නෙ? මටත් නින්ද යන්නෙ නෑ.”

අම්මා පිටුපසින් සිට ඇසුවා ය. පොදුවේ නින්ද අප හැමදෙනාට ම අහිමි දෙයක් බව ඇත්තකි.

“නැහැ මං ළිඳක් කපනවා. කොයිතරම් ගැඹුරට හරි කපල මං වතුර හොයාගන්නවා. වතුර නැතත් අපේ උන්නෙ ලේ හරි හම්බවෙයි.”

“බාලා, උඹ මා ව හොඳටම බයකරනවා. අපි මෙහෙන් යන්න ම ඕන. ඔව්… අපි ළඟදි ම මෙහෙන් යනවා.”

අම්මා ස්ථිර හඬින් කීවා ය. මම කාර්යය මඳකට නතර කොට අම්මා දෙසට හැරුණෙමි.

“මේක මං දවස් ගාණක ඉඳල හිතපු දෙයක්. මේ පොළොවෙ වතුර ඇති.”

“බාලා…”

“ඇයි?”

“උඹට මොනව හරි සිද්ධ වෙනවා. කාව ද උඹ ආශ්‍රය කරන්නෙ?”

අම්මා ව මඟහැර සිටින්නට මට අවකාශයක් ඉතිරිව නොපැවතුණි. අනෙක් අතට අම්මාට දිය හැකි තරමේ සෑහෙන පිළිතුරක් ද මා සතු නොවුණි.

“කථා කරපං… කාව ද උඹ ආශ්‍රය කරන්නෙ? ඉස්සර හිටිය මිනිහ නෙවෙයි උඹ.”

“කවුරුවත් නැහැ. නමුත් මට මේව හිතට එනවා. ඉතිං අම්මගෙන් අහන්න එපා නම් මං අහන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ.”

අම්මා මගේ පිළිතුර පිළිගත් බවක් නොපෙනුණි. අම්මා සිටි තැනම ඉඳගෙන ම මා දෙස බලා සිටින්නට වූවා ය. මට අපහසුවක් දැනිණි. මම යළිත් ළිඳ කැපීමේ කාර්යයේ යෙදුනෙමි.

 

“උඹට ඔය වැඬේ තනියම බෑනෙ.”

අම්මා නැගිට ගෙට ගියා ය.

මට වෙහෙසක් නොදැනිණි. මගේ උදව්වට දැන් මේ මහ රැයේ ක්‍රිෂ්ණන් ද පැමිණ තිබේ.

“වතුර තියේවි ද?”

ලුණු කූඩයෙන් පස් උඩට අදින අතරතුර ක්‍රිෂ්ණන් අසයි. වතුර තිබේ යැයි මට ද විශාල විශ්වාසයක් නැත. එහෙත් කුමක් හෝ කළ යුතුව ඇත.

“මං ළඟදි කවියක් ලිවුව. කියන්න ද? එතකොට තේරෙයි.”

මම ඇසීමි.

“කියන්න.”

“මාතෘකාව, පිඟන් බිඳීම.”

“ඉතින් කියන්න.”

ක්‍රිෂ්ණන්ගේ මුහුණේ සිනාවකි. මම කවිය කියන්නට වීමි.

“සෝදන හැම විටක

ඉඳුල් පිඟන්

ඔහු බිඳ දමයි පිඟානක් දෙකක්

ගසා නැව් බඳ.

දිනක් අතවැසි විමසූ කල කාරණ

සිනාසුණු ඔහු කීවේ ය

“හැම තිස්සෙම ඇසෙන

මහ සයුරෙ වැළපුම් හඬ’තුරට

පිඟානක් බිඳෙන හඬ

කොතෙක් නම් අපූරු ද”

“ඉවර ද?”

“ඔව්.”

“මට ඕව තේරෙන්නෙ නැහැනෙ.”

ක්‍රිෂ්ණන් අහිංසක ව සිනාසී කීවේ ය.

“දවසක තේරේවි.”

අපි දිගටම ළිඳ කපන්නට වීමු. වලාකුළින් තොර අහසේ පායා තිබූ සඳ පමණක් අප දෙස බලා සිටී.

“බාලා, නවත්තන්න. ගලක් නේ ද?”

උදැල්ල ගලක හැපුනි. ක්‍රිෂ්ණන් උඩ සිට කෑ ගැසුවේ ය. ඒ වන විට අඩි දොළහකට ආසන්න ගැඹුරකට ළිඳ කපා තිබුණි.

“ගලක් වගේ. තව පාදලා බලමු.”

“අපරාදේ, අපිට වතුර නැහැ.”

ක්‍රිෂ්ණන් සියලු අපේක්ෂා බිඳ ගත්තේ විය. මම සීරුවට ගල වටා තිබූ පස් ඉවත් කළෙමි. මඳින් මඳ මතු වූයේ මිනිස් රුවකි.

“ක්‍රිෂ්ණන් ගලක් නෙවෙයි මිනිහෝ. බුදු පිළිමයක්…!”

“බුදු පිළිමයක් වෙන්න බැහැනෙ.”

“ඔව් බුදු පිළිමයක්. අපේ රටේ මහ පොළොව යට බුදු පිළිමයක්.”

මම කෑගැසුවෙමි. සුළු කාලයක දී බොහෝ සෙනඟක් අපේ මිදුලේ ය.

“අපිට කරදරයක් වෙයි. ඕක වහලා දාපං.”

අම්මා මට පමණක් ඇසෙන සේ කීවා ය. මම එය එක එල්ලේ ම ප්‍රතික්ෂේප කළෙමි.

“මේ පොළොවේ බුදු පිළිමයක් වැළලුනේ කොහොමද?”

මම ප්‍රශ්න අසා ඇත්තේ අම්මාගෙන් ම පමණකි. මෙවෙලේත් එසේ ම සිදු විය.

“මං දන්නෙ නෑ. අපිට කරදර කාලයක්. මං දන්නේ එච්චරයි.”

“මං මේක ගොඩ ගන්නවා.”

“එපා.”

අපි එකතුව පිළිමය ගොඩ ගතිමු. අහල පහළ කවුරුත් ඊට සහාය වීම අම්මාගේ බිය පහ කරන්නට සමත් වූයේ ය. සෙනඟ තව තවත් එකතු විය. ඒ සෙනඟ අතරින් මතු වූ ගමේ ප්‍රධාන කෝවිලේ පූසාරී මා දෙසට කඩා පැන්නේ නොසිතූ ලෙස ය.

“ඕක වළ දාපං.”

ඔහු මට තර්ජනය කළේ ය. සියලු අසල්වාසීහු අතුරුදහන් වූ බවකි. අම්මා ද පෙනෙන්නට නැත. එය නම් මට සැනසීමකි.

“ඇයි මේක වළ දාන්නෙ?” මම සන්සුන් ව ඇසීමි.

“මැරිච්ච අතීතෙකට පණ දෙන්නයි උඹ හදන්නෙ.”

“එහෙම එකක් තිබුණ නම් මං ඒකට පණ දෙනවා.” මම දැඩිව කීවෙමි.

“ඒක කරන්න කවදාවත් උඹට ඉඩ දෙන්නෙ නැහැ. මං ආයෙම එනව. ඒ එද්දි මේක වළ දාල තියෙන්නෝන.”

පූසාරි නික්ම ගියේ ය. කොහෙදෝ සිට අම්මාගේ රුව මතු විය.

“අපි මෙහෙං යං. මං ගේ අස් කරනවා.”

අම්මා ගේ අස් කරන හඬ මට ඇසේ. මම පුදුම නොවෙමි. ඒ අම්මා ය. පූසාරී නැවත පැමිණියේ ය. මෙවර ඔහු සමඟ දේශපාලකයෝ ද කිහිප දෙනෙකු වීම විශේෂත්වය විය.

“බාලා… මේක වළ දාපං.” එකෙකු මට කීවේ ය.

“ඇයි අපි මේක වළ දාන්නෙ? ඇයි මේ ගල් පිළිමයකට මේ තරම් බය වෙලා?” මම සන්සුන් ව ඇසීමි.

“මේක පත්තු වුණොත් බෝම්බවලට වඩා භයානකයි. ඔව්…. උඹ හිතන විදිහ තමයි හරි. මේක එක්ක වළ දාපු අතීතයක සම්බන්ධයක් තියෙනවා. ඒත් උඹ මතක තියාගන්න ඕන නිජබිමක් වෙනුවෙන් උඹේ අප්පයි අක්කයි දෙන්නම ජීවිත පූජා කරපු බව.”

“පූජා කළා නෙවෙයි. උදුරාගත්තා. බිලිගත්තා.” මම නොබියව ම පැවසීමි.

“උඹ ව මරන්න ම වෙනවා.” දේශපාලන ලොක්කා මගේ හිස අතගෑවේ ය. ඒ ආදරේට නම් නොවේ.

“මරන්න.” මම කීවෙමි.

“අපි මෙහෙන් යන්නයි හදන්නේ.” අම්මා අපි අතරට පැමිණ කීවා ය.

“මේකව යැව්වම ඇති. උඹ හිටපං.”

“මම යන්නේ නැහැ.” මම පෙරටත් වඩා දැඩිව කීවෙමි. ඔවුහු මට සිනාසුණහ. මහ හඬින් සිනාසුණහ. ඒ වියරු සිනහව තල් යාය පුරා ම පැතිර ගියේ ය.

මම කෝච්චියෙන් බැස ගතිමි. කුඩා ගිරිදුර්ග අතරින් ඇවිද ගිය මම විශාල ගල් තලාවක් පාමුලට පැමිණ නතර වූයෙමි. ඔහු එතන වාඩි වී සිටියේ ය.

“දරුවා කවුද?”

“බාලචන්ද්‍රන්. වල්ලිපුරම්වලින්.” මම දෙවෙනි පැනයකට ඉඩ නොතබා කීවෙමි.

“යාපනේ පැත්ත ඉඳලා මෙහෙ?”

“ඔව්. කාරණා කිහිපයක් දැනගන්නයි ආවෙ.” මම ඔහුගේ සන් කිරීමට අනුව බිම වාඩි වෙමින් කීවෙමි.

“අපේ වත්තෙ ළිඳක් කපද්දි බුදු පිළිමයක් හම්බ වුණා.”

“ඉතිං?”

“මට දැනගන්න ඕන කවුද ඒ පිළිමෙ නෙළුවෙ කියල. ඒක තැනක නෙළල තව තැනකට ගෙනියන්න අමාරු තරම් විශාලයි. ඒ ගැන දන්නව ද හාමුදුරුවො?”

“අතීතෙන් ඇහුවොත් නම් කියාවි ඒ ඔබේ මුත්තලයි කියල.”

මට මහත් සතුටක් දැනිණ.

“මේ දරුවා මේවා හොයන්නෙ ඇයි?”

“මේකත් එක්ක වැළලිල ගිය අපි නොදන්න අතීතයක් අපට තියෙන විත්තිය මට මුල ඉඳල ම හිතුණා. ඒකයි.” මම වඩාත් උත්සාහවත් ව කීවෙමි.

“දරුවා හරි. ඒ අපි හැමෝගෙම උරුමය. සියලු මිනිස්සුන්ට සදාකාලික සැපත සැනසීම උදා කරපු උරුමය. ඔය දරුවගෙ පළාත්වලින් ඒක වැළලිලා ගියා.”

“සදාකාලික සැපත සැනසීම? කොහොමද ඒක ලබා ගන්නෙ?” මම ඔහුගේ දෙවුරින් සොලවමින් ඇසුවෙමි.

“නිවන් දැකීමෙන්.” ඔහු මගේ දෑත් ඉවත් කරමින් පැවසුවේ ය. විශ්වාස කළ යුතු සත්‍යයක් එහි ඇති වගට මට සැකයක් නොවිණි.

“දෙමළුන්ට නිවන් දකින්න බැරි ද?” මම ඇසුවෙමි. පළමු ව ඔහු සිනාසුණේ ය.

“දෙමළු නිවන් දැක්කා. දෙමළ – සිංහල, බෞද්ධ – අබෞද්ධ කියල ඉරි ගහන්න අවශ්‍ය නැහැ. පොදුවේ බුද්ධිමත් සියලු මනුෂ්‍යන්ට නිවන් දකින්න පුළුවනි. ඒ විදිහට දැන ගත්තම හොඳයි.”

මම කෝච්චියෙන් ම ආපසු ගමට එන්නට පිටත් වුණෙමි. මම කෝච්චියේදී ම කවියක් ලීවෙමි.

නොනිමි
හිරු වැටී තුරු මත
නිරුවත් වනස්පති තැවෙයි
දැක දැවෙන තණපත්
වියැකී ඇළ දොළ ද
පුපුරා පොළෝ ගැබ
වියපත් වූ මහ වනේ
නොනැසුණ පතොක් පඳුරක්
තියුණු කටු අතර සඟවා
වෙර ගනියි විළිලන්න කැකුළක්

මම කෝච්චියෙන් බැස ගම දෙසට ඇවිදගෙන ගියෙමි. ආයෙම ගමේ සොහොන් පාළුවකි. කිසිවෙකුත් අතරමඟ දී මට හමු නොවුණි. හමුවන කාටත් කියන්නට දෙයක් මා සතුව ඇත. එහෙත් අවාසනාව. අහන්නට කිසිවෙකුත් නැත.
මම වත්තට ඇතුල් වුණෙමි. පිළිමය තිබූ තැන නැත. වසා දමා තිබූ ළිඳේ පස් මත අම්මා යටිබැලි ව වැතිර සිටියා ය.

“අම්මා…”

මම අම්මා ව අනෙක් පසට හැරවූයෙමි. ඇගේ හිස මුදුනින් තවමත් ලේ ගලයි. ඒවා උණුසුම් ය.

“අම්මට අමාරු ද?”

“නැහැ.”

අම්මා මා ව පැත්තකට තල්ලුකරගෙන නැඟී සිටියා ය. මට නැගිට ගන්නට තරම් ශක්තියක් නොවිණි. නැගිට ගිය අම්මා භූමිතෙල් දමා ටකරන් නිවසට ගින්දර ළං කළා පමණකි. නිවසට ම ගිනි ඇවිළ ගියේ විය. මොහොතක දී අම්මා ද එතැන ම මැරී වැටුණි. නිවසේ ගින්දර ඇයව ද යටකරගෙන නැගෙයි.

“අම්මා….”

මගේ හඬ පිට නො වී ය. මම අසරණව බලා සිටියෙමි. පූසාරි ද දේශපාලකයෝ ද ඒ ගින්න අතරින් නැගී මා වෙතට පැමිණේ. එකෙකු අත ලේ වැගිරෙන හෙල්ලයකි. ඒකා මට හෙල්ලයෙන් අනින්නට ළං විය.

“එපා…!” මම මහ හඬින් කෑ ගැසුවෙමි.

මම නින්දෙන් අවදි වුණෙමි. මා දුටු සිහිනය එසේ ය.

මම රචනාව අවසන් කොට පොත පාසල් බෑගයට දමා කාමරයේ ආලෝකය නිවා දැමුවෙමි. මා හෙට පාසල් යා යුතුව ඇත.

එස්. බාලචන්ද්‍රන්
වල්ලිපුරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here