ලංකාවේ සංගීතය ගැන අපේ බලාපොරොත්තු අලුත් කරන අපේ අලුත් පරම්පරාවයි මේ – Hela FM Media


මේ වෙද්දි හුඟ දෙනෙක්ගෙන් අපිට අහන්න ලැබෙන මැසිවිල්ලක් තමයි ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ අනාගතය අඳුරේය කියන එක. මුදල් සහ ජනප්‍රියතාවය අරමුණු කරගෙන නිර්මාණය කරන පහත් රස වින්දනයන් ගෙන දෙන ගී නිර්මාණ තමයි වැඩි කියලයි ඒ අයගෙ මතය. මේ වෙද්දි අපේ සංගීත ක්ෂේත්‍රයේ ඇතිවෙමින් පවතින නව ප්‍රවණතාවයන් දිහා බලන කෙනෙක්ට “අපේ සංගීතෙ දැන් වලපල්ලට යමින්ද තියන්නෙ?” කියල සාධාරණ සැකයක් ඇති වෙන්නත් බැරිකමක් නෑ.

හැබැයි අනිවා අපි නම් කියන්නෙ අනාගතේ හිතන තරම්ම අඳුරු නැහැ කියන එකයි. රැල්ලට යට නොවී තමන්ගේම ආරකින් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කරන්න උත්සාහ කරන, දැනටමත් වෙනසක් කරමින් පසුවන තරුණ ශිල්පීන් රැසක්ම අපි සතුව ඉන්නව. කාලයත් එක්ක ඒ අය අපේ ශ්‍රී ලාංකික සංගීතය තව තවත් ආලෝකවත් කරාවි කියලයි අපේ අදහස.

කවුද මේ කට්ටිය? අපි කියන්නම් අපේ හිත ගත්ත ඒ විදිහෙ තරුණ ශීල්පීන් ශිල්පිණියන් කීපදෙනෙක් ගැනම. මේ අය සමහරක් වෙනත් ප්‍රවීනයන්ගෙ ගීත හෝ ජනප්‍රිය ගීතවල කවර් වර්ෂන් ගායනා කරන අය. නමුත් ඒ අය ඉදිරියේදී තමන්ගෙම නිර්මාණවලින් ලංකාවෙ ගීත ක්ෂේත්‍රය පෝෂණය කරයි කියන බලාපොරොත්තුව අපට තියෙනව.

 

1. සනුක වික්‍රමසිංහ
Source – youtube.com/SANUKA – Perawadanak

සනුක වික්‍රමසිංහ කියන්නේ අපේ සංගීතයේ අනාගතය හැටියට නම් කරන්න පුළුවන් තරුණයෙක්. ගායනය අතින් ඉහල දස්කම් තියන තරුණ තරුණියො බහුතරයක් ලංකාවෙ හිටියට ලංකාව කියන්නෙ “සුපර් ස්ටාර්” මට්ටමේ ඕල් රවුන්ඩ් තරු බිහි කරන රටක් නෙමෙයි. ඒ මට්ටමට ආසන්නවම අපිට ඉන්න තරුව හැටියට අපිට සනුකව හඳුන්වන්න පුළුවන්. සනුක මේ වෙද්දි එකිනෙකට වෙනස් වැඩ ගොඩක් අපිට කරල පෙන්නල තියනව, ඒ වගේම තව ඉදිරියට වැඩ ගොඩක් කරන්න ඔහුට කාලය තියනවා.

අපිට දැනගන්න ලැබෙන හැටියට සනුකගේ මුල්ම ගීතය වෙන්නේ “මා” නැමති මවුගුණ ගීයක්. ඊට පස්සේ රූපාන්තරන චිත්‍රපටයට ගායනා කරන “පාරෙන්” නැමැති ගීතයත් එක්ක සනුක ජනප්‍රියතාවයක් ලබනවා. එහෙම පටන්ගත්තු සනුකගේ සංගීත දිවියේ ගමන් මග ඔපවත් කරන සුපිරි නිර්මාණ රාශියක්ම මේ වෙද්දි අපිට අහන්න, දකින්න, විඳින්න ඉඩ ප්‍රස්ථාව ලැබිල තියනවා. ඒ අතරින් සරාගයේ, පෙරවදනක්, සංසාර සිහිනේ වගේ නිර්මාණ විශේෂයි.

 

2. රිද්ම වීරවර්ධන
Source – youtube.com/Ridma Weerawardena | Soya Awa

හිමින් සීරුවේ තමන්ටම ආවේණික වූ ශෛලියකින් ස්වාධීන ගමනක් යන ශිල්පියෙක් හැටියට අපිට රිද්ම වීරවර්ධනව නම් කරන්න පුළුවන්. රිද්ම සතුව තියෙන්නෙ සුවිශේෂී වූ කටහඬක් සහ ගායන පෞරුෂයක්. වෙලාවකට හිත නිවාලන්නට, තවත් වෙලාවකට තදබල කම්පනයක් ඇති කරන්නට ඒ කටහඬ මනාව හැසිරවීමේ දක්ෂතාවය ඔහු සතුයි. කුවේණි, නාඩගම් ගීය වගේ ගීත මියුසික් වීඩියෝවක් නැතිව උනත් අපිට රස විඳින්න පුළුවන් වීමේ රහස එයයි. රිද්මගේ ගායනයත්, තවත් නවක සංගීතඥයෙක් වන චරිත අත්තලගේ සංගීතයත්, චන්ද්‍රෙස්න තලංගම මහතාගේ පද රචනයත් එක්ක අපිට නිදහසේ චිත්ත රූප මවාගෙන මේ නිර්මාණ අතර අතරමං වෙන්න ඉඩ සැලසෙනව. රිද්ම මුල්වරට මියුසික් වීඩියෝවක් එක්ක ඉතාම මෑතකදී එළි දක්වපු “සොයා ආවා” ගීතයත් ලාංකීය ප්‍රේක්ෂකයන්ට හැම අතින්ම නැවුම් අත්දැකීමක්.

රිද්ම වීරවර්ධන ගැන කතා කරද්දි රිද්ම, චරිත අත්තලගේ සහ චන්ද්‍රසේන තලංගම සුසංයෝගය ගැනත් නැවත වතාවක් මතක් කල යුතුයි කියලා හිතෙනවා. චරිතගේ සංගීතයත්, චන්ද්‍රසේන තලංගමගේ අර්ථාන්විත පද රචනයත් එක්ක රිද්මගේ සුවිශේෂී ගායන හැකියාව මුසු වෙලා එන නිර්මාණ තව තවත් රස විඳින්න අපේ හිත්වල බලාපොරොත්තු මතු කරවන සුළුයි.

 

3. චරිත අත්තලගේ
Source – soundcloud.com/charitha-rakshitha-attalage

මෑත භාගය වෙද්දි සංගීත නිර්මාණයන් හරහා නිතර නිතර අපේ නෙත ගැටෙන නමක් තමයි චරිත අත්තලගේ. මෑතකදි අපේ සංගීත ක්ෂේත්‍රයට දායාද වෙච්ච තරුණ පරපුරේ මතක හිටින නිර්මාණ රැසකටම සංගීතය නිර්මාණයෙන් දායක වෙලා තියෙන්නෙ චරිත අත්තලගේ තමයි. ඒ අතරින් රිද්ම වීරවර්ධනගේ ගීත වලට චරිත නිර්මාණය කරපු සංගීතය ගැන අපි විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ගායනය සහ පද රචනය හා මනාව අත්වැල් අල්ලගෙන යන සංගීතය හරහා අසන්නාට උපරිම වින්දනයක් ලබාදෙන්න ඒ නිර්මාණ වලදී චරිතට හැකිවෙලා තියනවා.

ප්‍රංශයේදී උපත ලබා ඇති චරිත මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි වාසය කරමින් සංගීත තාක්ෂණයන් ගැන අධ්‍යාපනය ලබනවා. සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් සංගීතය විද්‍යාත්මක සහ තාක්ෂණික පසුබිමකින් දකිමින්, ඒ හරහා අපේ වින්දන පරාසයන් පුළුල් කරන්නට අනාගතේදී චරිතට වැඩි වැඩියෙන් අවස්ථාව හිමිවේවායි කියල අපිත් ප්‍රාර්ථනා කරනවා.

 

4. අපි මචන් (Api Machan)
Source – youtube.com/Api Machan Trailer

අනිවා අපිට අපි මචංලව අන්තර්ජාලයේදී මුණ ගැහෙන්නෙ තරමක් පරක්කු වෙලා අහම්බයකින් වගේ. නමුත් ඒ මුල් මුණ ගැසීම අහවර වෙන්නෙ මේ වෙනවිට යූටියුබ් වෙත මුදාහැරල තියෙන ඔවුන්ගේ ගීත/ගීත ප්‍රතිනිර්මාණ උමතුවකින් වගේ එකක් නෑර රසවිඳීමෙන් අනතුරුවයි. අපි මේ ලිපියෙන් මෙතෙක් කිවුවේ තනි ශිල්පීන් ගැන උනාට අපි මචන් කියන්නේ සංගීත කණ්ඩායමක්. අපි මචන්ලා අපේ සංගීත ක්ෂේත්‍රය තුළට නැවුම් වෙනසක් ගෙන එන්නේත් කණ්ඩායමක් හැටියට ඔවුන්ගේ සුවිශේෂීත්වය නිසාමයි.

අපි මචන්ලාව අපිට මුලින්ම හමුවෙන්නේ ඔවුන් විසින් (කිසිම වාණිජමය අරමුණකින් තොරව) නැවත ගායනා කරන ලද ජනප්‍රිය පැරණි ගී එකතුවකිනුයි. අමරදේවයන්, මිල්ටන් මල්ලවාරච්චි, ෂෙල්ටන් පෙරේරා, වික්ටර් රත්නායක, සෝමතිලක ජයමහ ඇතුළු ශිල්පීන් රැසකගේ ගීත රැසක් අපි මචංලාගේ කට හඬින් සහ සංගීත රටාවන්ගෙන් ප්‍රති නිර්මාණය වෙනවා. මේවා මුල් නිර්මාණයට හානි නොකරන ගමන්ම නැවුම් මුහුණුවරකින් අපිට ගෙන එන්නත් ඔවුන් සමත්වෙනවා. තනි ගායකයෙකුගේ ගීතයක් අපි මචන් කණ්ඩායමේ ගායන ශිල්පීන් හතර පස් දෙනෙක්ගේ හඬින් මාරුවෙන් මාරුවට ගැයෙද්දී එතැන මැවෙන්නේ වෙනම මිහිරියාවක්. ඒ ගීත හරහා අපේ පැරණි ජනප්‍රිය ගීතයන්හී ගායකයන්ට, පද රචකයන්ට සහ සංගීතඥයන්ට උපහාරයක් පුද කරන්නටත් ඔවුන් අමතක කරන්නේ නැහැ.

https://www.youtube.com/watch?v=fWpe_JyM94E

 

5. අනුක් දිල්ෂාන්
Source – facebook.com/anukdilshanmusic

අනුක් දිල්ෂාන් කියන්නේත් අපිට අනාගත බලාපොරොත්තු තියාගත හැකි නව පරපුරේ ශිල්පියෙක්. සංගීත නිර්මාණය, වාදනය, ගායනය වගේම පද රචනයෙනුත් මේ වෙද්දි ඔහු නිර්මාණ වලට දායක වෙලා තියනවා. නව පරපුරේ වගේම ප්‍රවීණ ශිල්පීන්ගේත් ගී නිර්මාණ වලට සංගීතය නිර්මාණයෙන් දායක වෙන්නට මේ වෙද්දි අනුක් දිල්ෂාන් සමත් වෙලා තියනවා. කසුන් කල්හාරගේ මේලා, දයාන් විතාරණගේ මල් නොපිපෙන වසන්තේ, ටී. එම් ජයරත්නයන්ගේ පිණි වැටී ආදී ගීත වලට අනුක් දිල්ෂාන් විසින් නිර්මාණය කරන සංගීතය කැපී පෙනෙනවා. දයාන් විතාරණගේ මල් නොපිපෙන වසන්තේ ගීතයේ පද රචනයටත් අනුක් දායක වෙනවා. ඒ වගේම සුරඟන ලෝකේ නමින් ඔහුගේ ගායනය එළිදක්වන ගීතයකුත් මේ වෙද්දි අනුක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරල තියනවා.

 

6. නදීමාල් පෙරේරා
Source – youtube.com/Mayam Kalawe – Nadeemal Perera

නදීමාල් කියන්නේ අපේ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගෙ පුතණුවන්. හැබැයි පියාගේ සෙවණැල්ලට මුවා වෙලා ඉන්නේ නැතිව තමන්ගේ අනන්‍යතාවයෙන් යුතු ගමනක් යන්නට උත්සාහ කරන නව පරපුරේ තරුණයෙක් හැටියට අපිට නදීමාල්ව හඳුන්වන්න පුළුවන්. ඒකට හොඳ සාක්ෂියක් තමයි ඔහුගේ මායම් කලාවේ ගීතය. මේ ගීතයට සංගීතය නිර්මාණය කරන්නේ සනුක වික්‍රමසිංහයි. ඒ වගේම සනුක සමග නදීමාල් එක්වෙලා ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුණු ආකාසේ චිත්‍රපටයට ගැයූ ගීතයකුත් මේ වෙද්දි ජනප්‍රියයි. ඒ “සෙල්ෆි” කියන ගීතයයි.

 

7. යොහානි ඩි සිල්වා
Source – youtube.com/Drill Team – Deviyange Bare Ft. Sanuka (Acoustic Cover) – Yohani De Silva

ඔබ යූටියුබ් හරහා සංගීතය රස විඳින කෙනෙක්නම් යොහානි ද සිල්වා කියන දක්ෂ, හුරුබුහුටි තරුණිය එක වරක් හෝ ඔබේ ඇස ගැටිලා තියෙන්න පුළුවන්. ඇගේ යූටියුබ් චැනලය ඔස්සේ විවිධ ආරයන්ගෙන් යුතු ගායනාවන් ඔබට රස විඳින්න පුළුවන්. රොක්, රැප්, ‍R&B වගේ ශෛලීන්ගෙන් යුක්තව ගැයෙන බටහිර ගීත සහ සිංහල කවර් ගීත ඔබට ඒ හරහා අසන්නට පුළුවන්. රොහානි විසින් ගායනා කරපු සයුරේ/කටු අකුලේ/උන්මාද වූ ගීත වීඩියෝව ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නටද සමත් වුණා. ඇගේම ශෛලියකට ඇය විසින් ගායනා කරනු ලබන සිංහල ගීත තුළින් මැවෙන්නේ වෙනස්ම මිහිරියාවක්. සංගීත භාණ්ඩ රැසක්ම වාදනය කිරීමේ දක්ෂතාවයද සතු යොහානි මේ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කරමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු හදාරමින් පසුවන්නියක්.

Cover Image Source – youtube.com




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here