හෙයා බොන්ඩින් (Hair Bonding), හෙයා එක්ස්ටෙන්ශන්ස් (Hair Extensions)… මොනවද මේ? දැනගන්න කැමති නම් කියවන්න – Hela FM Media


මීට කලින් අපි රී බොන්ඩින්, ස්ට්‍රේට්නින් විතරක් නෙවෙයි හෙයා කලරින් එකකදි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැනත් කතා කලා. හෙයා බොන්ඩින් එහෙමත් නැත්නම් හෙයා එක්ස්ටෙන්ශන්ස්/ හෙයා වීවින්ග් ගැනත් දැනගන්න කැමතියි ඔයාලට ඒ ගැන කියන්නයි මේ හදන්නෙ. පංච කළ්‍යාණියෙන් එකක් වුන හිසකෙස් ගැහැණු පිරිමි බේදයකින් තොරවම අපේ පෙනුමට සෑහෙන බලපෑමක් එක් කරනව. මේ නිසාම හිසකෙස් අඩු වෙද්දි, හැලිල යද්දි පෙනුම ගැන හිතන ඔබට ඇති වෙන කණස්සල්ලට පිලියමක් හැටියට තමා මේ හෙයා බොන්ඩින් මෙතඩ් එක කරළියට එන්නෙ. ඔබේ හිසෙහි තියෙන හිසකෙස් වල ප්‍රමාණාත්මක වැඩි වීමක් පෙන්නුම් කරන්න තමා මේ හෙයා බොන්ඩින් එක පාවිච්චි කරන්නෙ.

 

1. මොකක්ද මේ හෙයා බොන්ඩින් (Hair Bonding)
Source – avrorra.com

හෙයා බොන්ඩින් කියන්නෙ ඔබේ හිසකෙස් වලට සමාන ස්වභාවික හෝ කෘතිම එහෙමත් නැත්නම් සින්තටික් හිසකෙස් ඔබේ හිසකෙස් වලට ගම් වර්ගයක් භාවිතයෙන් එකතු කිරීම. මේක තාවකාලික හෙයා වීවින් ක්‍රමයක්. යම් කිසි කාල පරාසයකට පමණක් මේ හෙයා බොන්ඩින් එක පාවිච්චි කරන්න පුළුවන්. හිසකෙස් වල පෙනුම ප්‍රමාණාත්මකව වර්ධනය කරගැනීමට භාවිතා කරන මේ ක්‍රමය හෙයා වීවින් වලට වඩා ප්‍රචලිතයි.

හිසකෙස් වර්ණ ගැන්වීමේදී හිස කෙස් වලට වන හානිය වලක්වා ගන්නත් මේ හෙයා බොන්ඩින් ක්‍රමය පහසුවක්. ඔබ කැමති ලෙස වර්ණ ගැන්වූ හිසකෙස් කොටස් ඔබේ හිසකෙස් අතරට සම්බන්ධ කරගත හැකි නිසා වර්ණ ගැන්වීමේදී කෙමිකල් වලින් වන හානිය වැලකෙනව.

 

2. සොෆ්ට් බොන්ඩින් (Soft Bonding) සහ හාර්ඩ් බොන්ඩින් (Hard Bonding)
Source – extensionforshorthair.com

හෙයා බොන්ඩින් ක්‍රම දෙකක් තියෙනව එකක් සොෆ්ට් බොන්ඩින් සහ අනික හාර්ඩ් බොන්ඩින්. මේ දෙකෙන් සොෆ්ට් බොන්ඩ් එක හාර්ඩ් බොන්ඩ් එකට වඩා සුමුදු සහ වඩාත් පහසු සහ නම්‍යශීලී බවක් දනවන අතර මේ සඳහා භාවිතා කරන්නේ ලේටෙක්ස් සහ ඇක්‍රිලික් පදනම් වූ අලවන ද්‍රව්‍යයි. මේ සඳහාම විශේෂිත වූ අලවන ද්‍රව්‍ය ලබාගෙන සොෆ්ට් බොන්ඩින් එකක් ගෙදරදී උනත් කරගන්න අපහසුවක් නැහැ.

හාඩ් බොන්ඩින් වලට හිසකෙස් ඇලවීම සඳහා පාවිච්චි කරන්නෙ ගම් අඩංගු ඇලවෙන ද්‍රව්‍යක්. හාඩ් බොන්ඩින් එකක් ඔබට සොෆ්ට් බොන්ඩින් එකක් වගේ ගෙදරදීම කරගන්න බැහැ. මේ සඳහා පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහය ඔබට ලබාගන්න සිදු වෙනව. සොෆ්ට් බොන්ඩ් හෙයා එක්ස්ටෙන්ශන් හැසිරවීමට පහසු උනත් හර්ඩ් බොන්ඩ් මෙතඩ් එක වඩා වැඩි කාලයක් පවතිනව.

 

3. හෙයා බොන්ඩින් එකකට පසු සැලකිලිමත් විය යුතු කරුණු
Source – chicagohairextensionssalon.com, wikr.com
  • හෙයා බොන්ඩින් එකකට පසු හිස කෙස් බ්‍රශ් කරන්න පැකිලෙන්න එපා. එය වඩාත් සුමුදුව හසුරවා ගැනීමට දවසකට වතාවක් හොඳින් බ්‍රශ් කිරීම වැදගත්.
  • හිසකෙස් සතියට දෙවතාවක් පමණක් සෝදන්න. උණුසුම් ජලය භාවිතයෙන් වලකින්න. හිසකෙස් සේදීම සඳහා සිලිකන් සහ සල්ෆේට් අඩංගු නොවන ශැම්පු වර්ගයක් භාවිතා කරන්න. හිසකෙස් සේදීමේදී මුළු කොණ්ඩයම හිසමතට ගෙන කොණ්ඩය ගුලි කරමින් සේදීමෙන් වලකින්න. ඇඟිලි තුඩු වලින් හිස් කබලේ සිට පහලට ක්‍රමානුකූලව ශැම්පු කරන්න.
  • හෙයා බොන්ඩින් එකකට පසු දින තුන හතරක් යන තෙක් තරමක අපහසු ගතියක් දැනීම සාමාන්‍යයි. ඒ වගේම මේ එක්ස්ටෙන්ශන් වලින් දෙක තුනක කොටස් ගැලවී යාමද සාමාන්‍ය තත්ත්වයක්.
  • හෙයා අයන්ස් මඟින් කොණ්ඩය ස්ට්‍රේට් කිරීම, කර්ල් කිරීම හෝ නිතරම බ්ලෝ ඩ්‍රයි කිරීම කරන්න එපා. මේ දේවල් සතියකට වතාවක් හෝ උපරිම දෙවතාවක් පමණක් සිදු කරන්න.
  • නින්දට යාමේදී කොණ්ඩ දෙකක් වඩා තද නොවන සේ ගොතා නින්දට යන්න. කොණ්ඩය ගැට ගැසීම වැලකෙන ලෙස ඔබේ පහසුව පරිදි ගොතාගන්න.
  • පිහිනීමට යනවා නම්. හොඳින් ගැට නොහිටින ලෙස කොණ්ඩය බ්‍රශ් කර ගොතා ගුලියක් බැද හෙයා කැප් එකක් දමා පිහිනීම කරන්න. පිහිනා පැමිණි විගස කොණ්ඩය සෝදා හරින්න.

 

4. මතක තබා ගත යුතු දේ
Source – youtube.com/How to Remove Hair Glue Out Of Your Hair
  • බොන්ඩින් එක ඉවත් කිරීමේදී එය තනිවම සිදු කරගන්නවාට වඩා පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියෙකුගේ සහය ලබාගෙන සිදු කරගන්න. හෙයා බොන්ඩින් එකක් ඉවත් කිරීමට සුදුසු කෙමිකල් වර්ග ඇති නිසා තනිවම හෙයා බොන්ඩ් එකක් ඉවත් කරගැනීමෙන් ස්වභාවික හිසකෙස් වලට හානි කර වෙන්න පුළුවන්.
  • හෙයා බොන්ඩින් එකකින් තාවකාලිකව හිස කෙස් වල ප්‍රමාණය වැඩි කර දිග වැඩි කර ගැනීම සිදු කලත් සෑම බොන්ඩින් එකකින් පසුවම අවම වශයෙන් සති හයකවත් විවේක කාලයක් හිසකෙස් වලට ලබා දීම ඉතාම වැදගත්. නිතර නිතර බොන්ඩින් හෝ අනෙකුත් හෙයා එක්ස්ටෙන්ශන් ක්‍රම සිදු කිරීමේදී ඔබේ හිස් කබල දුර්වල වී හිස කෙස් පළුදු වී හිසකෙස් හැලීයාමට ලක්විය හැකියි.
  • ඒ වගේම හෙයා බොන්ඩින් එකක් කල පසු හෙයා කලරින් එකක් කරනවා නම් ඒ පිළිබඳව ඔබේ රූපලාවණ්‍ය ශිල්පියා හා සාකච්ඡා කරන්න. ඇතැම් විට කලරින් එකේදී භාවිතා කරන රසායන ද්‍රව්‍ය වලින් හෙයා බොන්ඩින් එකේ සවි ශක්තිය ගිලිහී යා හැකියි.

 

5. බොන්ඩින් වලට අමතරව අනෙක් හෙයා එක්ටෙන්ශන් ක්‍රම මොනවාද?
Source – glamhairextensions.vpweb.co.uk, youtube.com/How to attach Clip-on hair extensions, youtube.com/How to: Fusion Hair Extensions, thehairworkshop.com, babyitsourworld.com

Tape in Extensions – සති හතරත් අටත් අතර කාලයක් මේ මෙතඩ් එකෙන් හිසකෙස් වලට එක් කරන එක්ස්ටෙන්ශන්ස් පවතිනව. ඉතාම සැලකිල්ලෙන් නෑම සහ පීරීම කලයුතුයි. විශේෂිත වූ ටේප් එකකට සකසන ලද හිසකෙස් හිස් කබලට ඇලවීමක් මෙහිදී සිදු කෙරෙනව.

Clip-in or Clip-on hair Extensions – ක්ලිප්ස් මඟින් හිසකෙස් අතරටම එක්ස්ටෙන්ශන්ස් රඳවන ක්‍රමයක් මේක. මේක දිනය පුරාම පැලඳගෙන සිටියත් නින්දට පෙර ඉවත් කල යුතුයි. උත්සවයකට වගේ සහභාගි වෙන්න හෙයා ස්ටයිල් එකක් තාවකාලිකව කරන්න කැමති කෙනෙක්ට මේ ක්‍රමය පහසුවක්.

Fusion Extensions – ග්ලූ ගන් එකක් වැනි මැශින් එකක් ආධාරයෙන් හිසකෙස් ඇලවීමක් මෙහිදී සිදු කෙරෙනව. දිගින් දිගටම පවත්වා ගන්නවා නම් මාස තුන හතරකට සැරයක් මේ එක්ස්ටෙන්ශන් එක අළුත් කරන්න ඕනෙ. ඒත් දිගින් දිගටම පවත්වා ගන්න හිතනවා නම් මෙහිහී භාවිතා කරන ගම් වර්ග වල කෙමිකල් වලින් හිස් කබලට විය හැකි හානි පිළිබඳවත් සැලකිලිමත් වෙන්න වෙනව.

Weave and Track Extensions – ස්වභාවික හිසකෙස් වලටම එක්ස්ටෙන්ශන්ස් ගොතා එක් කරන එක්ස්ටෙන්ශන් මෙතඩ් එකක්. බොහෝ වෙලාවට හිසකෙස් වල දිගු බව පෙන්වීමට මේ ක්‍රමය භාවිතා කරනව. මාස දෙකක් තුනක් වැනි කාලයක් පවත්වා ගන්න පුළුවන් මේ ක්‍රමයේ ඇති එකම අවාසිය හිසකෙස් ගැට ගැසීමේ සම්බාවිතාවය වැඩි වීමයි.

Hidden Crown Extensions – හිස් මුදුනට එක් කරන විනිවිද පෙනෙන නූලකින් සම්බන්ධ කෙරෙන එක්ස්ටෙන්ශන් මෙතඩ් එකක්. මෙහිදී කිසිදු ආකාරයක ඇලවීමක් හෝ කෙමිලක් එකක් භාවිතා නොවෙන නිසා හුඟක්ම දුර්වල හිසකෙස් ඇති අයට මේ මෙතඩ් එක වඩාත් සුදුසුයි. පහසුවෙන් සවි කිරීමටත් ඉවත් කිරීමටත් හැකි මේ ක්‍රමය තාවකාලිකව දිනපතා උනත් භාවිතා කරන්න පුළුවන්. පිහිනීම නිදා ගැනීම වැනි දේ හැර ඔබට සාමාන්‍ය පරිදි මේ එක්ස්ටෙන්ශන් එක හසුරුවාගන්න පුළුවන්.

 

6. මිල ගණන්
Source – soul2solehnb.com

භාවිතා කරන්නෙ සින්තටික් හිසකෙස්ද ස්වභාවික හිසකෙස්ද යන්න මත සහ ඔබට අවශ්‍ය දිග, හිස කෙස් ප්‍රමාණය සහ භාවිතා කරන මෙතඩ් එක අනුව හෙයා එක්ස්ටෙන්ශන්ස් වල මිල ගණන් වෙනස් වෙනව. මීට අමතරව කල් පැවැත්ම මතත් මිල ගණන් වෙනස් වෙනව. පළුදු නොවූ, කිසිදු ආකාරයක රසායන ක්‍රියාවලියකට ලක් නොවූ ස්වභාවික හිසකෙස් ලබාගන්නවා නම් වඩාත් මිල අධික බවත් සින්තටික් හිසකෙස් ඊට සාපේක්ශව මිලෙන් අඩු බවත් පැවසිය හැකියි.

 

 

Cover Image Source – unice.com




Hela FM Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here