ආගන්තුක සුළඟ (කෙටි කතාව)

0
2


ප්‍රශ්න පත්‍රය මා අතට පත් විය. මගේත්, පවුලේ සියලු දෙනාගේත් ජීවිත ඉදිරියේ ඇති අනේක ප්‍රශ්නවලට පිළිතුර මා මේ ප්‍රශ්න පත්‍රයට ලියන පිළිතුරු මත තීරණය වී ඇති බව මම දනිමි. එහෙත් ලියන්නට පිළිතුරු මට නැත. දුකත්, සංතාපයත්, අවාසනාවත් හැර අන් කිසිවක් මා සතුව නොපවතී. වසර දෙකක් පුරාවට මා දුක සේ රැස්කර ගත් විෂය දැනුම හදිසි සුළඟක් විසින් මගෙන් බොහෝ ඈතකට රැගෙන ගොස් තිබේ. ඉතිරිව ඇත්තේ ඒ සුළඟ පිළිබඳ සිත රිදවන මතකයන් පමණකි. ඒ මතකය මා අත තිබෙන ප්‍රශ්නවලට පිළිතුරක් නො වේ. මා අසරණ ව බලා සිටිනවා පමණකි.

හිම වැස්සක් කඩා වැටෙන්නට විය. දුම්රිය වේදිකාවේ සිටි නිසා මා වැස්සට නොතෙමුනත් වැස්සෙන් ඇති කළ අධික සීතලෙන් මම පීඩා වින්දෙමි. හිම කබායක් මා සතුව පැවතිය ද බැහැරට යන හැමවිටක ම එය රැගෙන යාමේ පුරුද්දක් මට නොවිණි. එහෙත් ‘මින් මතුවට නම් එසේ නොකරන්නෙමි’ යි මම දැඩිව අදිටන් කර ගතිමි. ඒ තරමට සීතල පීඩාකාරී විය.

දුම්රිය නියමිත වේලාවට පැමිණියත් මා තවත් මිනිත්තු 20ක් පමණ මේ සීතල විඳ දරාගෙන සිටිය යුතුව ඇත. දුම්රිය වේදිකාවේ සිටි සමහරෙක් සැර දුම්කොළවලින් සෑදූ සිගරට් විශේෂයක් පත්තු කොටගෙන දුම් උරන්නට වූහ. එවන් පුරුද්දක් නොතිබූ මම ඒ දුමෙන් නැගෙන අධික සැරට ඉව අල්ලන්නට වීමි. එයින් සිදු වූයේ මගේ පපුව සිර වී වෙනත් අපහසු බවක් ඇති වීම පමණ ය. උණුසුම් තේ කෝප්පයක් බොන්නට ඇත්නම් හොඳ ය. එවිට තරමක හෝ සහනයක් ලැබෙනු ඇති. මම දුම්රිය වේදිකාව කෙළවරේ පවත්වාගෙන යන කුඩා ආපන ශාලාව වෙත ඇවිද ගියෙමි. ඒ කෙටි දුර තුළ එක්තරා දසුනකින් පුදුමයට පත්ව මම හිටිවන ම නැවතුණෙමි.

දුම්රිය බලාපොරොත්තු ව සිටින සිය ගණනක් මගීන් අතරේ වයසින් විසි වසරක් යැයි සිතිය හැකි තරුණියක් සබන් වතුර හෝ එවැනි දියරයක් සහිත කුඩා කුප්පියක් ද සිතුවම් කළ කුඩා උණ බටයක් ද රැගෙන අහසට සබන් බෝල පිඹිමින් සිටී. සුළඟේ පා ව යන සබන් බෝල හිම කැට වැදීම නිසා බිඳී යන විට අප්‍රමාණ සතුටක් ලබන්නා සේ ය. හිම වැස්සවත්, කෙමෙන් කෙමෙන් මෝදු වන අඳුර පිළිබඳවත්, කෙටියෙන් කියන්නේ නම් අවට ලෝකය පිළිබඳ ව කිසිදු හැඟීමක් නොවන්නියක ලෙසිනි ඇය මේ හැසිරෙන්නේ.

පුදුමයෙන් යුතුව බලා සිටින මා ව දුටු වහා ම මෙතෙක් කරමින් සිටි ක්‍රීඩාව නතර කොට ඈ මවෙත තියුණු බැල්මක් හෙළුවා ය.

“ඇයි?”

“නෑ නිකන්.” යැයි කියූ මම ඈ පසු කොට ආපන ශාලාව දෙසට පියවරක් එසෙව්වා පමණකි. ඇය මගේ ගමන හරස් කොට සිටගත්තා ය.

“මේක පිස්සු වැඩක් කියල නේ ද හිතන්නෙ?”

ඇය ඇසුවේ සබන් දියරයත්, උණ බටයත් පෙන්නමිනි.

“ඔව්. මේ වෙලාවෙදි…”

මම ඇත්ත ම කීවෙමි. මට ඒ ගැන තව දුරටත් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය වුව ද ඒ සඳහා ප්‍රමාණවත් වචන මා මුවට නොනැගිණි.

“ඔන්න මම මේක විසි කරනවා.. හැබැයි කෝච්චිය එනතුරු මා ව සතුටින් තියන්න මොනවහරි කරන්න වෙයි…”

ඈ කුප්පියත්, උණ බටයත් ඈතකට විසි කරමින් කීවේ විධානයක ස්වරූපයෙනි. මේ අනපේක්ෂිත සිදුවීමෙන් මම කලබලයට පත් වීමි.

“මේ මම.. ඇයි ඒ?”

“ඔව්.. දැන්ම මොනවහරි කරන්න ඔබ..”

මම වටපිට බැලීමි. වාසනාවකට මෙන් අප දෙස වෙනත් කිසිවෙකු බලා නොසිටී.

“කැමති නම් තේ එකක් බොමු.”

මම කිව්වා නොව මට කියැවිණි. තරමක පහසුවකි මට දැනුණේ.

“ඒකත් නරක නැහැ. ඊට වඩා මොනව ලබන්න ද ඔබගෙන්…” යැයි කියූ ඈ මට පෙරාතුව ආපනශාලාව දෙසට යන්නට වූවා ය.

මම ඈ පසුපසින් ගමන් ගත්තෙමි. කිසියම් සතුටක් ද ඒ සමාන චකිතයක් ද මා තුළ ඉපදිණි. මා තරුණියක සමඟ මෙවැනි සමාගමයක් පවත්වන්නේ පළමු වතාවට යි මේ. එනිසා ය.

වැඩි කරදරයක් නොකොට තේ කෝප්පයක් පානය කළ ඕ තේ බොමින් සිටි මා ව නොතකා නැගී සිටියා ය.

“මිචිකෝ” යි කියූ ඇය ඊ ළඟ මොහොතේ ආපන ශාලාවෙන් පිට වූවා ය. මම මේ අරුම පුදුම තරුණිය දෙස බලා සිටින්නට වීමි.

“තමන්ගේ වැඩක් බලා ගන්න නිකන් කරදරේ වැටෙන්නෙ නැතුව…” අසල මේසයක තේ බොමින් සිටියෙකු කීවේ ය. මම ඔහුව ද නොහඳුනමි. හෙතෙම අප දෙස බලා සිටින්නට ඇත. සමහර විට ඔහු මිචිකෝ ව දන්නා කෙනෙකු ද විය හැක. ලැජ්ජාවෙන් බර වූ සිතින් යුතුව මුදල් ගෙවා මම ඉක්මනින් ම ආපන ශාලාවෙන් පිට වීමි. එවිට ම දුම්රිය ද පැමිණියෙන් පිරිස අතර මට ආයෙමත් මිචිකෝ ව දැක ගන්නට නොලැබුණි.

මම ද දුම්රියට ගොඩ වීමි. නුහුරු සතුටක් මගේ සිත පුරා පැතිර යයි. ගමන පුරාවටමත්, රාත්‍රිය පුරාවටමත් මම ඒ සතුට වින්දෙමි. ‘මට නැවතත් ඇය ව හමුවෙනවා නම්…’ රාත්‍රිය පුරා ම මසිත වූ සිතුවිල්ල ය ඒ.

පසු දින නිවාඩු දිනයක් වූ හෙයින් මම තරමක් දවල් වෙනතුරු නිදා ගත්තෙමි. සිහිනයක මිචිකෝ මා සමඟ වූවා ය. නමුත් ඉන් එහා ගිය වෙනත් පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීමට අවදි වූ මම අපොහොසත් වීමි.

ඇත්තෙන්ම මට නිවාඩු දිනයේ කර ගැනීමට වැඩ කටයුතු කිහිපයක් ම විය. එහෙත් දවස අවසානයේ දී මා එයින් කර තිබුණේ කිලිටි ඇඳුම් සෝදා ගැනීම පමණකි. කාමරය පිරිසිදු කර ගැනීම, අතපසු වූ සටහන් ලියා ගැනීම, අසනීප ව සිටින මිතුරු ෂියෑන් ව බැලීමට යාම ආදී කටයුතු එසේ මවිසින් අතපසු කළ කටයුතු අතර විය.

“ඔයාගෙ වෙනසක් පේනවා…”

පසුදින පන්තියේ දී ෂියෑන් කීවේ ය. ඔහු සුව වී පන්තියට පැමිණ සිටියේ ය. මම පිළිතුරක් නො දී සිටියෙමි. හේ නැවත ඒ ගැන මගෙන් නොවිමසුවේ ය. වෙනදා ෂියෑන් සමඟ දුම්රියපොළට එන මම පන්තිය අවසානයේ ඔහුව මඟහැර තනිවම ආවෙමි. අදත් හිම වැස්ස යන්තමින් වසී. මම හිම කබාය රැගෙන විත් තිබුණේ ද නැත.. හිම වැස්සේ තෙමීගෙන ම මම දුම්රියපොළට ආවෙමි. කුඩා හිම කැට මගේ ඇඳුමේ තැනින් තැන තැවරී ඇත. මට විශාල සතුටක් දැනුණි. මිචිකෝ එහි සිටියා ය.

“මේක ගෙනාවේ ඔබට…”

කිසිදු ආගන්තුක බවකින් තොරව ඈ මට හිම කබායක් දිගු කළා ය. මොහොතක් මේ ආගන්තුක යුවතිය දෙස බලා සිටි මම එය අතට ගත්තෙමි.

“ස්තුතියි. ඒත්…?”

“ඒ ගැන හිතන්නෙපා. ඒක ගෙදර තිබුණු එකක්. දැන් කාටවත් ප්‍රයෝජනයක් නැහැ.” යි ඇය කියූවේ මට එය කිසි ලෙසකින්වත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තත්ත්වයකට මා ව පත් කරවමිනි.

“ඒත් ඇයි මට මේක…?”

“ඊයෙ තේ එකට හිලව් වෙන්න කියලා හිතන්නකෝ.”

“තේ එකට හිම කබායක්.. හරිම අපූරුයිනෙ…”

අපි දෙදෙනා ම සිනාසෙන්නට වීමු.

“තරූත්ම ශ්‍රී ලංකා”

“ටාරු”

“නෑ. තරූත්ම”

ඒ හමුවීමෙන් පසුව එළඹුණ සතිවල සතියේ දින හයක් අපි දුම්රියපොළේදී මුණගැසුනෙමු. මිචිකෝ නගරයේ කර්මාන්ත ශාලාවක සේවය කළා ය. ඇයට එයින් විශාල වැටුපක් ලැබුණි. හැම අවස්ථාවක දී ම වගේ අප අතර වූ වියදම් දැරුවේ ඇය විසිනි. මට ශිෂ්‍යත්වයෙන් ලැබෙන මුදල් වෙනත් කටයුත්තකට වියදම් කිරීමට කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත. ඒ නිසා බොහෝ අවස්ථාවල දී මම නිහඬ ව සිටියෙමි.

“හෙට කබුකි බලන්න යමු ද..?”

සෙනසුරාදා සවස මිචිකෝ මට දුම්රියේ දී යෝජනා කළා ය.

“ඇත්ත ම කියන්නම්. ඒ වගේ දේකට මං ළඟ මුදල් නැහැ. හැමදා ම මිචිකෝට බරක් වෙන්න මං කැමති නැහැ.”

මම ඇත්ත ම කීවෙමි. මිචිකෝ සිනාසුණා ය.

“මං ළඟ මුදල් තියෙනවා. ඔයාට කරදරයක් නැත්නම් විතරක් අපි යමු…”

මට ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැක. මම හිස සලා ගමනට එකඟ බව පළ කළෙමි.

පසුදා අපි නගරයේ කබුකි රංග ශාලාවකට ගොස් කබුකි නැරඹුවෙමු. කබුකි නාට්‍යය මට අලුත් අත්දැකීමක් විය. මම එයින් මහත් සතුටක් වින්දෙමි. මිචිකෝ එයින් බොහෝ සතුටට පත් වූවා ය. ආපසු එන ගමනේ දී,
“මම බයෙන් හිටියේ..” යි මිචිකෝ කීවා ය.

“ඇයි…?”

“කබුකි බලලා ඔබ සතුටු නොවෙයි කියලා…”

“මං ගොඩාක් සතුටු වුණා.. ඇත්තෙන් ම හරි අපූරුයිනෙ ඔයාලගෙ රට. තාක්ෂණය දියුණු වෙනවා. ඒත් පාරම්පරික කලාවත් ආරක්ෂා වෙනවා.”

මිචිකෝ මට තරමක් සමීප වූවා ය. මම ඈත් වුණෙමි.

“කාරණයක් අහන්නම් ඇත්ත කියනවා ද?”

මම බොහෝ කලක සිට සිතේ පැවති දෙයක් අසන්නට සිතා ඇසුවෙමි.

“අහන්න…”

“එදා ස්ටේෂන් එකේදි පොඩි ළමයෙක් වගේ සබන් බෝල සෙල්ලමක් කළේ මොකද?”

මිචිකෝ පළමු ව සිනාසුණා ය.

“මට විශාල තනිකමක්, පාළුවක් ජීවිතේ දැනුණා.. ඒකයි.”

මා ඒ ගැන තව දුරටත් විමසුවේ නැත.

ඊ ළඟ සති අන්තයේ සකුරා බලන්නට යාමටත් මිචිකෝ මට ආරාධනා කළා ය.

මගේ අවසන් විභාගයට තව ඇත්තේ මාස 6ක් වැනි කාලයකි. පසුගිය කාලය පුරා ම මම නේවාසිකාගාරයට පැමිණ පාඩම් වැඩක් කළ බවක් සිහිකර ගැනීම දුෂ්කර ය. මධ්‍යම රාත්‍රිය තෙක් මිචිකෝ සමඟ දුරකථනයෙන් කතා කර කර සිටීම පමණකි ඒ කාලය පුරා ම මා කළ දේ. පන්තියේ දී පවා පෙර තරම් උනන්දුවකින් ඉගෙනීම් කටයුතු නොකළෙමි. ෂියෑන් වැනි මිතුරන් ද මගෙන් ඈත් විය. කවුරු නැතත් මට මිචිකෝ සිටී. මම සකුරා බලන්නට යාමට කැමැත්ත පළ කළෙමි. ප්‍රදේශය පුරා ම එක යායට සකුරා පිපී තිබුණි.

තණ පලස මත ද නටුවලින් ගිලිහුණු සකුරා වැටී තිබුණෙන්, වචනයෙන් කිව නොහැකි තරමේ චමත්කාරයක් දක්නට ලැබුණි. මේ ජපානයට සකුරා වසන්තය යි. වසන්ත සුළඟ පරිසරය සිසාරා ඇදී යයි. පිපුන සකුරා මල් ඒ සුළඟේ දඟ කරන්නාක් මෙනි.

“අපි එකට ජීවත් වෙමු…”

ආපසු එන්න සූදානම් ව මිචිකෝ කීවා ය. ඇගේ වචන බොහෝ කලක් සිර කරගෙන සිටියා වැනි ය. මම කිසිදා එවැන්නක් ගැන සිතාවත් නොතිබුණි. අනෙක් අතට අපි අතර ප්‍රේමයක් ගැන හෝ කතා වී තිබුණේ ද නැත. මම බෙහෙවින් කලබල වීමි.

“අපිට එහෙම කරන්න බැහැ.. මම මෙහෙ ආවෙ ඉගෙන ගන්න.”

මගේ වචන තද බවක් ගත්තේ විය. මිචිකෝගේ මුහුණ දුකෙන් පිරිණි.

“ඒකට කැමති වෙන්න. මම ඔයාට ඉගෙන ගන්න බාධා කරන්නේ නැහැ. උදව් කරනවා…”

මම කතා නොකළෙමි. මට මිචිකෝ ව රිදවන්නට ද නොහැක. ඇගේ යෝජනාවට එකවර ම කැමති වන්නට ද නොහැක.

“මුදල් ගැන හිතන්නෙපා. ඒක මං බලාගන්නම්. අපට තව ටික කාලය යි එකට ඉන්න තියෙන්නෙ.”

“ඇති. යං…”

මම මිචිකෝට ඉස්සර වීමි. මා පසුපසින් ඈ මගේ අතින් අල්ලා ගත්තා ය. ඒ අප අතර ස්පර්ශයක් සිදු වූ පළමු අවස්ථාව යි. මම විරෝධයක් නොපා ගමන් කළෙමි. අප පසුකර ගිය සමහරක් ජපන් ජාතිකයෝ නැවත නැවත අප දෙස බලනු මම දිටිමි.

අවසානයේ එය සිදු විය. එනම්, මමත් මිචිකෝත් එකට ජීවත් වෙන්නට පටන් ගැනීම ය. මුළුතැන්ගෙයක් සහිත කුඩා කාමරයක් අපගේ නිවස විය. එය මිචිකෝ විසින් මාස් පතා මුදල් ගෙවීමේ පදනම මත කුලියට ගත්තකි. සියලු වියදම් මිචිකෝ විසින් දැරී ය. එහෙත් මම ඇගේ බලවත් විරෝධය ද නොතකා සවස 4.30 සිට රාත්‍රී 8.00 දක්වා නගරයේ ආපන ශාලාවක කුඩා රැකියාවක් ද සොයා ගතිමි. ඉඳුල් පිඟන් සේදීමත්, වැසිකිළි පිරිසිදු කිරීමත් මගේ අලුත් රැකියාව විය. මිචිකෝ ඒ වගක් කිසි දින නොදැන සිටියා ය. මම රාත්‍රී 9 වෙද්දී කාමරයට යන්නෙමි. ඒ වෙද්දී මිචිකෝ විසින් රාත්‍රී ආහාරය සුදානම් කොට මා එනතුරු මා එන තෙක් මඟ බලා හිඳී. රාත්‍රී 9.30 වෙත්දී අපි ආහාර ගත්තෙමු.
“මිචිකෝ රාබු අච්චාරුවලටයි, ගෝවා සුප්වලටයි මේ තරම් කැමති මොකද?”

මා ඇසුවේ ඒවා මිචිකෝ විසින් නිතර නිතර හදන නිසාවෙනි. ඇගේ රාබු අච්චාරුව නම් මම ද කැමැත්තෙන් ම කෑවෙමි. ගෝවා සුප්වලට නම් මා තුළ එතරම් කැමැත්තක් නොතිබුණි.

“ඇයි ටාරු අකමැති ද?” මිචිකෝ කෑම ගැනීම නවතා ඇසුවා ය.

“නැහැ මම නිකමට ඇහුවේ…”

“ඒක පුංචි කාලෙ ඉඳලා තිබුණු දෙයක්…”

පසු දින පටන් අපේ රාත්‍රී ආහාර වේලට මාළු හෝ මස් ද සකස්ව තිබිණි. මම මිචිකෝට බෙහෙවින් ම ආදරය කරන්නට වීමි. එහෙත් අප අතර මෙතෙක් එවැන්නක් ගැන කතාබහක් ඇති නොවුණි.

මිචිකෝ මා වෙනුවෙන් විශාල ලෙස වෙහෙසුණි. ගෙදර සියලු කටයුතුත්, මගේ රෙදි සේදීම වැනි සියලු කටයුතුත් ඕ සතුටින් ම කළා ය. ඈ ගෙදර ගියේ සැම මාසයක ම 14 වෙනිදාට පමණකි. එසේ ගියත් එදින ම ඈ නැවත පැමිණියා ය. සමහර විටක ඒ දිනය සතියේ දිනයක් ද වෙයි. ඇය ඒ වෙනුවෙන් නිවාඩු ගත්තා ය. මා මිචිකෝ දුකෙන් පසුවන දිනයක් දැක්කේ නම් ඈ ගෙදර ගොස් පැමිණි දිනය පමණක් ම විය.

“ඇයි ගෙදර ගිහින් ආවම හැමදා ම දුකින් ඉන්නේ…?”

පස් වෙනි මාසයේ දී මම ඇසුවෙමි.

“ගමන් මහන්සිය වෙන්නැති. හිතේ දුකක් නම් නැහැ.”

මිචිකෝ කිව්වේ ඇත්ත නොවන බව මම දනිමි. ඈ මා ව මඟහැර නාන කාමරයට වැදුණා ය. මම ඒ සිදුවීම අමතක කර දැමුවෙමි. එදින සිට ගතව ගියේ සතියක කාලයකි. හදිසි උවමනාවක් නිසා ගෙදර යන බව කියූ මිචිකෝ දින දෙකක් තුනක් ආපසු නොඑන බව ද කීවා ය. අපි එකිනෙකාගෙන් වෙන්ව එක ම දවසක් හෝ මේ මාස පහ පුරා ම නොසිටියෙමු. එහෙත් මිචිකෝ ව වළක්වන්නට මට බැරි ය. මම අකමැත්තෙන් වුවත් ඇයට අනුමැතිය දුන්නෙමි. එදින රාත්‍රියේ මම කාමරයට පැමිණියේ සතුටින් නො වේ. මා එන තෙක් මිචිකෝ නොමැති බව මම දනිමි. එහෙයිනි. පසු දින ද එසේ ම ය. මට දැනුණේ සොහොන් පාළුවකි. තවත් දවසක් ඉවසා සිටිය යුතු ය. එහෙත්, ඊට පසු දින ද එනම් තුන්වන දින ද මිචිකෝ පැමිණියේ නැත. ලොකු ම අපහසුව වූයේ ගෙදර ගියදා පටන් ම ඇගේ දුරකතනය ද ක්‍රියාවිරහිත ව පැවතීම යි. මිචිකෝ මට කතා කළේ ද නැත. දුරකතනය නැති වෙන්නට ඇතැයි මම සිතුවෙමි. මගේ අංකය ද ඇයට මතක නැතුවා විය යුතු ය. එසේ නොවන්නේ නම් මිචිකෝ හිතා මතා මෙසේ නොකරන බව මම අදහමි.

මා කාමරයට පැමිණියේ වෙන යාමට තැනක් නොමැති නිසා ම ය. මිචිකෝ නැති මේ කාමරයේ මට තවදුරටත් වාසය කිරීම මහා වදයකි. දුකකි. මම අරමුණකින් තොරව ම කැන්වස් රෙද්දෙන් නිමවා තිබූ අපගේ තාවකාලික අල්මාරියේ මිචිකෝගේ පැත්ත විවෘත කළෙමි. පුදුමයකි. ඇගේ ඇඳුම් කිසිවක් එහි නැත. මට මේ කිසිවක් නොතේරේ. මිචිකෝ මට පළමුවෙන් ම තෑගි කළ පරණ හිම කබායත් කාමරයේ නැත. ‘මිචිකෝ කුමක් කරන්නේ ද?’ මට පළමුවරට මිචිකෝ පිළිබඳ අමනාපයක් හෝ තරහවක් ඉපදිණි. ‘මා කුමක් කළ යුතු ද?’ කුමක් කරන්න වුවත් හෙට උදෑසන වනතුරු ඉවසා සිටින්නට මට සිදුව තිබේ. මම උදෙන් ම මිචිකෝගේ රැකියා ස්ථානයට ගොස් ඇය ගැන සොයා බැලුවෙමි. ඇය එතනින් ඉල්ලා අස් වී ඇත. බලවත් ලෙස බැගෑපත් වීමෙන් පසුව මම ඇගේ ලිපිනය ඉල්ලාගෙන ඇගේ නිවස සොයා ගියේ අසීරුවෙනි. මම ඊයේ රාත්‍රියේදීත්, අද උදෑසනේදීත් ආහාර නොගත්තෙමි. කුස තුළ දැඩි වේදනාවක් ඇති වුව ද කිසිවක් කරන්නට තරම් පිරියක් මට නොවුණි. දහවල් වෙද්දී මට මිචිකෝගේ නිවස සොයා ගැනීමට හැකි විය. එය ග්‍රාමීය ප්‍රදේශයක වූ පැරණි ගෙදරකි. මා එහි ළඟා වන විට තරබාරු කාන්තාවක් මා එන දෙස බලා සිටියේ මා පිළිබඳ ව ම විපරමිනි. ඒ ඇගේ අම්මා විය යුතු ය.

“මිචිකෝ ඉන්නව ද?”

මම ආචාරශීලී ලෙස ඇසුවෙමි.

“මිචිකෝ…? ඔබ මිචිකෝගේ කවුද?”

කාන්තාව ඇසුවේ කිසි ගරුසරුවක් නැති ව ය. මම ඒ ප්‍රශ්නයට සූදානම් ව පැමිණියෙමි.

“මිචිකෝ වැඩ කරන ආයතනයෙන්.. නොදන්වා දවස් කිහිපයක් නාව නිසයි බලන්න ආවේ.”

කාන්තාවගේ මුව’ගට නැගුනේ උපහාසාත්මක බැල්මකි.

“මිචිකෝ මෙහි හිටියේ කුලියට කාමරයක් අරගෙන. එයා මීට මාස පහකට විතර කලින් මෙහෙන් ගියා. පසුගිය 14 වෙනිදා එයා මෙහෙ ආවා. එයාගෙ ස්වාමියා ව බලල එන ගමනේදි.”
“ස්වාමියා…?” මට එකවර ම කියවිණි.

“ඔව්.. සුසුකි අකිතෝ.. එයා ප්‍රසිද්ධ හොරෙක්. මිචිකෝ කිව්වා එයාගෙ ස්වාමියා තව දින කිහිපයකින් හිර ගෙදරින් නිදහස් වෙලා එන බවත්, එයා ළඟ දී ම ඈත ප්‍රදේශයක පදිංචියට යන බවත්. මං හිතන්නෙ එයා ඒ විදියට කරන්න ඇති.”

මම දෙපයින් සිටගෙන සිටියේ අසීරුවෙනි. මිචිකෝ ඔබ මට කුමක් නම් කළේ ද? මාව මේ නන්නාඳුනන රටේ රුදුරු කාන්තාරයක අතරමං කළා නො වේ ද?

“මහත්තයා එයා ව හොයන එක අතහරින්න.. යන්නෙ කොහෙද කියල මටවත් කිව්වෙ නැහැ. එහෙම කිව්ව නම් මං මහත්තයට කියනවා ම යි. මොකද මට පේනවා ඒක ඇහුවම මහත්තයට වෙච්ච දේ.”

පොළොව පළාගෙන යෑමේ හැකියාවක් තිබුණි නම් මම එවෙලෙහි එසේ කරන්නෙමි. මම උමතුවෙන් මෙන් කාමරයට ආවෙමි. අතට හසු වෙන හැම දෙයක් ම පොළොවේ ගැසුවෙමි. එහෙත් මගේ සිතේ වේදනාව අංශුමාත්‍රයක් හෝ අඩු නොවුණි. අල්මාරියේ මගේ රෙදි යටින් ඇය යෙන් විසි දහසක මුදලක් තබා ගොස් තිබුණි. මිචිකෝ මා ව මේ කාලයට මිලයට ගත්තා ද? මම නන්නාඳුනන රටක ගැහැනියකට විකිණුනා ද? ඇත්තට ම මම බොහෝ වේලාවක් වැළපුණෙමි. කෙසේ වෙතත් මට විභාගයට පෙනී සිටින්නට ම සිදු විය. මා මේ ඉඳගන්නේ විභාගය සමත් වීමට නො වේ. අසමත් ව ඉක්මනින් මේ රටින් පිටව යාම පිණිස පමණි. අනෙක් පසින් මා පිළිතුරු ලෙස කුමක් ලියන්න ද? මා ජීවත් වන්නේ පවා අසීරුවෙනි. මම පෑන ගෙන ප්‍රශ්න පත්‍රය මත ම කුරුටු ගාන්නට වීමි.

ආගන්තුක සුළඟ…
ඇවිත්
දැවටි දැවටී හිඳ
නික්ම ගිය අපූරුව
නොකියා ම මල්වලට…”

මේ සිදු වූ දේ මිස පිළිතුරු නො වේ.

පසුවදන –
අපේ ජීවිතවලට අහම්බෙන් එන උදවිය ගොඩාක් සමීප වෙලා එකපාරට ම වෙන් වෙලා, වෙනස් වෙලා යනවා. ආපසු හැරිලා බලද්දී අපේ ජීවිත ආයෙම හදන්න බැරි විදියට විනාශ වෙලා. අන්තිමට ඉතුරු වෙන්නේ මෙලොව පරලොව දෙකේ ම පසුතැවෙන්න විතරයි.

චන්දන එස්. කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here