ගිහින් පැය බාගෙන් රුපියල් 500 කින් කෑම වේලක් ෂේප් කරගන්න කොළඹ වටේ තියෙන පොට් 10 ක් – Hela FM Media

0
16


 

කොළඹ නගරේ තරම් කොහෙද කෑම කඩ තියෙන්නේ? හැබැයි එහෙම වුනාට ගොඩක් දෙනෙක්ගේ මැසිවිල්ලක් තමයි හොඳ කෑමක් අඩු ගාණට කන්න පොට් එකක් කොළඹ නෑ කියලා. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. අඩියෙන් අඩියට එක එක ජාතියේ, එක එක රටවල විදියේ කෑම අලෙවි කරන පොට් තිබුණත් එක්කෝ ගොඩක් දෙනෙක් හිතනවා ඒවා තමන්ට දරන්න බැරි තරම් ගණන් කියලා. හැබැයි රුපියල් 500 කට අඩුවෙන් කෑම වේලක් ගන්න තැන් කොච්චර තියෙනවද කියලා දන්නවනං ඔබට පුදුමත් හිතෙයි. මෙන්න කොළඹ සහ අවට තියෙන ඒ වගේ පොට් දහයක්!

 

1. තව කන්න හිතෙන ඩයින්මෝර්!
Source – tasty.lk, bellaandbella.com

ඩයින්මෝර් කියන්නේ තව දුරටත් ගොඩක් දෙනා නොදන්න තැනක් නෙවෙයි. ඇත්තටම ඩයින්මෝර්ත් දැන් ටික ටික කේඑෆ්සි, මැක්ඩොනල්ඩ්ස් වගේ පොදු තත්වෙට වැටිලා. ඒත් තාමත් මේ කට්ටියගේ කෑම එක සුපිරි. ඔව් අපි කියන්නේ සබ්මැරීන් එක ගැන තමයි. කාලයක් තිබ්බා සබ්මැරීන් නං ඩයින්මෝර් කියලා. තාමත් ඒ තත්ත්වෙ ලොකු වෙනසක් වෙලා නෑ.අනික් විශේෂත්වය තමයි ඩයින්මෝර් කට්ටියගේ ශාඛා තියෙනවා කොළඹ වටේම. රුපියල් 430 ක් යනකොට සබ් එකක් අරන් වැඩේ ශේප් කරගන්න පුලුවන්. ඒක ඉවර කරනවා කියන්නේ ආයි පැය ගාණක් යනකල් වෙන මොකුත් ඕන නෑ කියන එක තමයි!

 

2. වීක් එන්ඩ් එකට කන්න යන්න හසාරි ගෙ පොට් එකට
Colombo Lunch Spots
Source – joyofkosher.com, munchtoday.com

ඉස්සර තිඹිරිගස්යායේ තිබුණු, දැන් මෙරීන්ස් ඩ්‍රයිව් එකට ගෙනැත් තියෙන Hazari’s Restaurant එක ඇත්තටම මිලෙන් අධික මැදපෙරදිග කෑම වර්ග තියෙන තැනක්. හැබැයි මෙතන එක එක ඔෆර්ස් තියෙනවා. විශේෂයෙන්ම සෙනසුරාදා ඉරිදා දවස් දෙකට බඩ පිරෙන්න කන්න පුලුවන් පලස්තීනියන් රයිස් එකක් හරි මක්ලුබා රයිස් එකක් හරි ගන්න පුලුවන් චිකන් හෝ බීෆ් එක්ක රුපියල් 490 කට. මෙතන කෑම බය නැතුව රසයි කියන්න පුලුවන්. ඉතින් මැදපෙරදිග ආහාරවේලකට නම් මෙතන තමයි පොට් එක. සතියේ දිනවල නම් මේ වගේ කෑමක් මේ ගාණට ගන්න බෑ. හැබැයි හුම්මුස් ප්ලේට් එකකින් වගේ ෂේප් වෙන්න පුලුවන් නම් ඒත් මෙතන අඩු ගාණක් තමයි යන්නේ.

 

3. ඉන්ටර්නැෂනල් කෝනර් එකක්: ග්‍රිල් කෝනර්
Colombo Lunch Spots
Source – timeoutdubai.com, rewardago.com

ඉන්ටර්නැෂනල් ජොයින්ට් එකක් කියලා ග්‍රිල් කෝනර් එකට කියන එක එක අතකට පොඩ්ඩක් නොමග යැවීමක් කියන්නත් බැරි නෑ. මොකද මැලේසියාවෙත්, ඩුබායි වලත් ග්‍රිල් කෝනර් එකේ ශාඛා තිබුණත් මෙතන ඉන්ටර්නැෂනල් පෙනුමක් එහෙම නං නෑ. හැබැයි අඩු ගාණකට ස්ට්‍රීට් ෆුඩ් පාරක් දාගන්න නං මේ පොට් එක අවුලක් නෑ. අනික තැනත් සුවපහසුයි. මෙතනත් ඔය බාබක්‍යු, සබ්මැරීන්, බර්ගර්, බිරියානි වගේ කෑම තමයි තියෙන්නේ. ලොකුම දැනෙන වෙනසක් නෑ. ඒත් රුපියල් පන්සීයක් ඇතුලේ බඩ පිරෙන්න කන්න පුලුවන්. කොහොම වුනත් මෙතන චිකන් බාබක්‍යු එකනං වෙලාවක ට්‍රයි කරලා බලන්නම ඕන අයිටම් එකක්.

 

4. අඩු ගාණකට හොඳ ඉන්දියන් කෑමක්: සරස්වතී ලොජ්
Colombo Lunch Spots
Source – tasty.lk

සාමාන්‍යයෙන් ඕනම වෙජිටේරියන් ඉන්දියන් කෑම කඩේකින් (සුපිරි පොට් එකක් නෙවෙයි නං) රුපියල් දෙතුන්සීයක් වෙනකොට බඩ පිරෙන්න කෑම එකක් කන්න පුලුවන්. හැබැයි අපි සරස්වතී ලොජ් එකට එදා ඉඳන්ම වෝට් කරන්නේ එතන කෑම වල තියෙන රස නිසා විතරක් නෙවෙයි. සර්විස් එකත් හොඳ නිසා.

ගොඩක් වෙලාවට අපේ ප්‍රියතම සරස්වතී ලොජ් ඩිෂ් එක තමයි අනියන් දෝසේ එකකුයි හොඳ එළකිරි වීදුරුවකුයි. ආයි ගැහුවට පස්සෙ මීක් කියන්න ඉඩ නෑ. ඕන නං අනුපානෙට ගුලාබ් ජමුන් එකකුත් කෑවට පස්සෙ තව පැය කාලක් විතර ඉඳගෙන ඉන්න වෙනවා බඩ බහිනකල් නැගිටින්න. මේ ඔක්කොම කරලත් රුපියල් පන්සීය ලිමිට් එක ලඟටවත් එන්නෙ නෑ. හැබැයි සෙනඟ වැඩි වෙලාවට මෙතෙන්ට ගියොත් ඉඳගන්න තැනක් නැතුව කැරකි කැරකි ඉන්න සිද්ධ වෙන්නත් පුලුවන්.

 

5. ෂවර්මා නං ඉතින් බර්ගර්ස් කිං තමා!
Colombo Lunch Spots
Source – burgerskingsl.com

වැඩ නිසා ලන්ච් එක මිස් වුණු දවසක හවස් වරුවකට බඩගින්න නිවා ගන්න ජන්ක් ෆුඩ් පාරක් දාන්න හිතෙනවා නං ඒකට මරුම තැනක් තමය් මැලේ ස්ට්‍රීට් එකේ බර්ගර්ස් කිං. හැබැයි පුදුමාකාර විදියට ජනාකීර්ණ තැනක් කියන එකත් කලින් කියන්න ඕන. ඉස්සර නං පාරේ යන බස් දිහා බල බල, ඩීසල් සුවඳත් එක්ක මික්ස් වුණු දුම් පාර විඳගෙන, කොම්පඤ්ඤවීදියේ ඔ‍ෆිස් ඇරුණු ටයිම් එකේ කලබලය අත්විඳගෙන පාර අයිනේ වාඩි වෙලා තමයි කන්න වෙලා තිබුණේ. හැබැයි දැන් බර්ගර්ස් කිං එකත් මොඩිෆයි වෙලා තියෙන්නේ. ඇතුලේ ඩයිනින්ග් හෝල් එකක වාඩිවෙලා සැපේ කන්න පුලුවන් දැන්. මෙතනත් එක්කෝ කෝර්ඩන් බ්ලූ බර්ගර් එකක් හරි, දැවැන්ත සබ්මැරීන් එකක් හරි ෂවර්මා එකක් හරි පන්සීයට අඩුවෙන් ගන්න පුලුවන්.

 

6. ෂේප් එකේ කොරියන් කෑමක්: කොරියන් බාබක්‍යු
Colombo Lunch Spots
Source – slkrhallyuwave.blogspot.com, kbqribsduluth.com

කොළඹ රුපියල් පන්සීයට අඩුවෙන් හොඳ බිරියානි එකක් කන්න ඕන තරම් තැන් තියෙනවා. හැබැයි හැමදාමත් එක්කෝ කේඑෆ්සී නැත්තං බිරියානි කන්න නං ඕන මේ ලිස්ට් එක දාන එකේ තේරුමකුත් නෑනේ. අන්න ඒ නිසා තමයි පොඩ්ඩක් වෙන රටවල කෑමබීම එහෙමත් මේ ලිස්ට් එකේ කවර් කරන්න හිතුවේ.

රාජගිරියේ තියෙන කොරියන් බාබක්‍යු එකෙන් ෆයර් චිකන් හරි ස්වීට් චිකන් හරි ප්ලේට් එකක් ගන්න පුලුවන් රුපියල් පන්සීයකට වගේ. මෙතන එක එක බඩ පිරෙන සුප් වර්ගත් තිබුණා වුනාට පන්සීයට අඩුවෙන් ඇත්තේ අයිටම් එකක් දෙකක් තමයි. හැබැයි ඒ තරම් සුවිශේෂ රසක් නැතත් දැන් KBQ එකේ සබ්මැරීන්, බර්ගර් වගේ අයිටම්ස් තියෙනවා. සාක්කුවට සෑහෙන පහසු ගාණකට.

 

7. බඩ ඉරිඟු ඇට කප් එකකින් ෂේප් වෙමුද?
Colombo Lunch Spots
Source – zomato.com, drecome.lk

මැජෙස්ටික් සිටි එකේ පහළ තියෙන ෆුඩ් කෝට් එක නං ඔය කොළඹ කරක් ගහන කෙනෙක්ට අමුතු තැනක් නෙවෙයිනේ. ඇත්තටම මේ ලිස්ට් එකට මැජෙස්ටික් සිටි ෆුඩ් කෝට් එකත් දාන්න පුලුවන්. මොකද එතන තියෙන හැම කඩේකින්ම වගේ රුපියල් 500 ට අඩු ගාණක් වියදම් කරලා හොඳ කෑමක් ගන්න ඔප්ෂන්ස් තියෙන නිසා. පීසා ඕන්නං එහෙමයි, බිරියානි එකක් ඕන්නං එහෙමයි, සබ්මැරීන් එකක් බර්ගර් එකක් ඕන්නං එහෙමයි. හැබැයි මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි.

ෆුඩ් කෝට් එකට ඇතුළු වෙන තැනම මල්ලි කෙනෙක් පොඩි කරත්තයක් තියාගනෙ විකුණනවා කෝන්. නිකම්ම කෝන් නෙවෙයි, මැජික් කෝන්. ඉතින් ලන්ච් එකත් මිස් කරගෙන එකහමාරේ ෂෝ එක එහෙම බලන්න MC ආව කෙනෙක්ට මෙතනට දුවලා ඇවිත් බඩ ඉරිඟු ඇට කෝප්පයක් අරන් යන්න පුලුවන්. නිකම්ම බඩ ඉරිඟු ඇටත් නෙවෙයි. එක්කෝ චීස් සහ බටර් එක්ක නැත්තං වෙන වෙන සෝස් ජාති එක්ක මික්ස් කරපු රෙසිපීස් කීපයක් තියෙනවා ‍තෝරගන්න. එක කෝප්පෙකින් බඩත් පුරෝගන්න පුලුවන්!

 

8. අපිට පුරුදු රස: ටේස්ට් ඔෆ් ඒෂියා
Colombo Lunch Spots
Source – fhms.lk, zomato.com

බම්බලපිටියෙ තියෙන මේන් පොට් එක වගේම තව තැන් දෙකතුනකත් බ්‍රාන්චස් තියෙන ටේස්ට් ඔෆ් ඒෂියා කියන්නේ ඉන්දියන් කෑම, ආප්ප ඉඳිආප්ප, කොත්තු වගේ ඕල් රවුන්ඩ් කෑම බීම තියෙන තවත් අල්ලලා යන රෙස්‍ටුරන්ට් එකක්. මෙතනත් කෑම රුපියල් පන්සීයෙ බජට් එක ඇතුලේ වගේම ඊට එහා පැත්තෙත් තියෙනවා. හැබැයි විශේෂම දේ තමයි මෙතන කෑම බීම සමහර වෙලාවට පොඩි කොත්තු කඩේක වුනත් තියෙන අයිටම්ස් කියල පෙනුනත්, වෙන කිසිම තැනකින් ලබාගන්න බැරි සුවිශේෂී රසකින් යුක්ත වීම. ඇත්තටම මෙතන කෑම බීම වලත් අර යාපනේ කෑම රස තියෙනවා.

 

9. යාපනේ කෑම කන්න යමු: යාල් රෙස්‍ටුරන්ට්
Colombo Lunch Spots
Source – tasty.lk, riceandcurry.wordpress.com

යාල්පානම් නැත්තං යාල් කියන්නේ යාපනේට කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි මේ යාල් රෙස්‍ටුරන්ට් එක තියෙන්නේ වැල්ලවත්තේ. දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙන යාල් රෙස්‍ටුරන්ට් එකෙන් බඩ කට පිරෙන්න යාපනේ නියම රසය තියෙන කෑම වේලක් කන්න පුලුවන් රුපියල් පන්සීයකටත් අඩුවෙන්. මේ කට්ටියගේ විශේෂම ඩිෂ් එක වෙන කකුළු හොද්ද එක්ක කෑම එකක් ගත්තොත් නං ගාණ පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි ඒ ඇරෙන්න අනික් අයිටම් සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ අපේ පන්සීය බජට් එක ඇතුලේ. විශේෂයෙන්ම දැල්ලෝ දාපු බත් එකක් එහෙම ට්‍රයි කරලා බලන්නම වටිනවා. මෙතන කෑම පිළිගන්වන්නෙත් නියම යාපනේ තාලෙට තමයි. ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි යාපනේ ගිහින් නැති කෙනෙක්ට.

 

10. ඩෝනට් එකකින් ෂේප් වෙමුද? ගෝ නට්ස් විත් ඩෝනට්ස්
Colombo Lunch Spots
Source – sendit.lk, foodspotting.com

සාමාන්‍යයෙන් බඩ පිරෙන කෑම වේලක් කිව්වහම ඔලුවට එන්නේ එක්කෝ හොඳ බිරියානි එකක්, ෆ්‍රයිඩ් රයිස් එකක් නැත්තං සබ්මැරීන් එකක් තමයි. ඒත් ඒ විතරක් නෙවෙයි කෑම වේලක් කියන්නේ. වෙනසකට හිතන්න ඩෝනට් තුනක් අරන් ගිහින් කෑවොත් බඩ පිරෙන්නෙ නැද්ද? හැබැයි රජෝ හැමදාම කරන්න හොඳ වැඩක් නෙවෙයි.

කොළඹ ඩීසන්ට් ඩෝනට් එකක් කන්න තියෙන්නේ ගෝ නට්ස් විත් ඩෝනට්ස් තමයි. විශේෂයෙන්ම ‍තෝරගන්න ඩෝනට් වර්ග ගණනාවක්ම තියෙන එකත් ලොකු දෙයක්. හැබැයි එතන ඉඳන් කන්න විදියක් නෑ. ටේක් අවේ විතරයි. ගෝ නට්ස් ඩෝනට්ස් වල රහ ගැන නම් කියන්න වචන නෑ. විශේෂයෙන්ම කස්ටඩ් මැදිකරපු චොකලට් ඩෝනට් එකක් හරි සැර රසට චිකන් ඇන්ඩ් චීස් ඩෝනට් එකක් හරි ගන්න පුලුවන්. ඕන නං පොඩි සබ් එකක් වගේ තියෙන චීබෝ එකක් හරි චොප් චොප් කොත්තුවක් හරි වුනත් අරගෙන යන්නත් පුලුවන්. ගෙන්න ගන්නත් පුලුවන්.

 

 
Cover Image Source – hindutva.info
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here