වැඩ ඉවර කරන්න නිදි මරන්න වුණු වෙලාවට, ඇහැරිලා ඉන්න ප්‍රයෝජනවත් උපදෙස් 7ක් – Hela FM Media

0
3


“නින්ද මිනිසාගේ පරම සැපත වේ” කියලා ඔය නිදාගන්න එක විනෝදාංශේ කරගත්තු ඩයල් ඕනෑ තරම් කියනවා අහලා ඇතිනේ. හැබැයි ඉතින් සමහර අවස්ථා එනවා නින්ද කියන්නේ කොයි තරම් සැපක් වුණත් නින්ද ගැන නොහිතා වැඩකරන්න වෙන. ඒ කියන්නේ එක්කෝ ඔ‍ෆිස් එකේ හෙට උදේ යවන්න තියෙන රිපෝට් එකක් ඉවර කරන්න වෙන්න පුලුවන්. කැම්පස් එකේ හෙට ඩෙඩ්ලයින් තියෙන ප්‍රොජෙක්ට් එකක රිපෝට් එකක් හදන්න වෙන්න පුලුවන්. විභාගෙකට පාඩම් කරන්න වෙන්න පුලුවන්. ඔන්න ඔය වගේ වෙලාවට මොකද කරන්නේ? සමහරු එක දිගට කෝපි බොනවා. සමහරු ඔය ශක්තිජනක පානයන්ට එහෙම තැන දෙනවා. සමහරු නිදිමත එනකොට මූණේ වතුර ගාගන්නවා. හැබැයි ඉතින් මේ එකක්වත් ඒ තරම් හොඳ වැඩ නෙවෙයි. නිදාගන්න වෙලාවට නිදාගන්න ඕන, වැඩ කරන්න තියෙන වෙලාවට වැඩ කරන්න ඕන. හැබැයි ඔහොම කිව්වට ඔය ‘නිරෝගී දිවියකට මග’ උපදෙස් දවසකට දෙකකට අමතක කරන්න සිද්ධ වෙන සීන් ඕන තරම් අපේ ජීවිතේ තියෙනවා. මේ කියන්න හදන්නේ එහෙම අවස්ථාවකදී නිදි නැතුව අවදියෙන් ඉන්නත්, හැබැයි නිදිමතේ පිස්සු කෙලින්නේ නැතුව වැඩේ හොඳට ඉවර කරන්නත් ප්‍රයෝජනවත් වෙන ටිප්ස් කීපයක් ගැන. හැබැයි මතක තියාගන්න ඕන, අපි නිර්දේශ කරන්නේ මේක බැරිම වෙලාවකට කරන්න කියලා තමයි. මිනිස්සුන්ට නින්ද අත්‍යාවශ්‍යයි, ඒ නිසා නිදාගන්න තියෙන වෙලාවට නිදාගන්න එක සෞඛ්‍ය සම්පන්න ජීවිතේකට අනිවාර්යයි.

 

1. කලින් නිදාගන්න
Source – edinstvennaya.ua

මුළු රෑම ඇහැරිලා වැඩ කරන්න තියෙනවා කියලා කලින් ප්ලෑන් කරලා තිබුණොත් ඒකට සූදානම් වෙන්න පුලුවන් හොඳම දේ තමයි ඊට කලින් හොඳට නිදාගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක් නිදාගන්න ඕන පැය හතත් – නවයත් අතර කාලයත් පුරුද්දක් විදියට නිදාගන්න මනුස්සයෙක් එක දවසක් නයිට් එකම වැඩ කලාට ලොකුවටම අවුලක් දැනෙන්නෙ නෑ. හැබැයි හරියට නිදානොගන්න ඩයල් එකක් නයිට් ගහන්න යනකොට ඇතිවෙන ශාරීරික සහ මානසික අවුල ඊට වඩා වැඩිවෙනවා.

කොහොමත් හෙට නයිටක් ගහන්න තියෙනවා  කියලා දන්නවා නං හොඳම දේ තමයි අද රෑ පැය නවයක්වත් නිදාගන්න එක. සතියකට කලින් නයිට ගැන දන්නවනම් කරන්න තියෙන්නේ අඩුම දවස් හයක් එක දිගට පැය හතේ ඉඳලා නවයක් වෙනකල් සුපිරි නින්ද ගන්න එක.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට වැඩ ගොඩදාගන්න අදින්න වෙන නයිට් ඔහොම කලින් කියලා එන්නෙ නෑ!

 

2. පොඩියට නිදාගන්න
Source – tenor.com

නයිටක් ගහන අතරේ පොඩි නින්දක් ලබන එකත් නයිට අමාරුවක් නැතුව ගෙවාගන්න වැදගත්. හැබැයි මෙහෙමයි. නින්ද ගියාට පස්සේ තමන් වටේ තොවිල් නැ‍ටුවත් ඇහැරෙන්නෙ නැති මනුස්සයෙක්ට නම් මේක හරියන එකක් නෑ. හැබැයි එහෙම ලොකු සීන් එකක් නැති කෙනෙක්ට නං නයිට අතරතුරදී පැය බාගෙක – පැයක නින්දක් ගැහුවට අවුලක් නෑ. ඇත්තටම එහෙම නින්දකින් ඇඟට පොඩ්ඩක් මහන්සිය නැතිවුණු ගතියක් දැනෙනවා. නයිට ගහන්න තව කෙනෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්නේ පැයකින් ඇහැරවන්න කියලා. එක දිගටම නන්ස්ටොප් අදිනවට වඩා වැඩත් කාර්යක්ෂම වෙනවා මේ වගේ පොඩි නින්දකින්.

 

3. වැඩ උපරිම කාර්යක්ෂමතාවයකින් කරන්න
Source – formassembly.com

නයිටක් ගහනකොට තියෙන එක අවුලක් තමයි වැඩ ස්ලෝ වෙන එක. වැඩවල කළමනාකරණය දුර්වල වෙන එක. මේකට එක බෙහෙතක් තමයි පොමොදෝරෝ ටෙක්නික් කියන්නේ. ඒ කියන්නේ විනාඩි විසිපහක් වැඩ කරනවා. විනාඩි පහක බ්‍රේක් එකක් අරගෙන පොඩ්ඩක් ඇවිදලා ඇ‍ඟේ හිරි ඇරගන්නවා. ආයෙමත් විනාඩි විසිපහක් වැඩ කරනවා. ඔය විදියට විනාඩි විසිපහේ ඒවා හතරක් ගියාට පස්සේ, ඒ කියන්නේ පැය දෙකක් ඇද්දට පස්සේ පැය බාගෙක විතර ලොකු බ්‍රේක් එකක් ගන්නවා. අන්න ඒ වෙලාවට ඕන නම් අර ලයිට් නැප් එක ගන්නත් පුලුවන්.

මේ විදියට වැඩ කරන්න උදවු වෙන ස්මාට්ෆෝන් ඇප් එහෙමත් තියෙනවා. ඒක ලොකු උදවුවක් වෙයි නයිටක් ගහනකොට. මේ ඇප් එකකින් වැඩ කරන වෙලාවට චිත්ත ඒකාග්‍රතාවයකින් වැඩේ ඇදගෙන යන්න පුලුවන් මියුසික්, වයිට් නොයිස් එහෙමත් ප්ලේ කරන එකත් වටිනවා. ඒකෙනුත් නින්දට නොවැටී වැඩ කරන්න සපෝට් එකක් ලැබෙනවා.

 

4. රෑ කෑමත් වැදගත්, පොඩි පොඩි කෑමත් වැදගත්
Source – realclear.com

නයිට් ඇදපු කෙනෙක් දන්නවා නයිට ගහනකොට සැරින් සැරේ එන බඩගින්න ගැන. ආන්න ඒ නිසා නයිට් එකක් අදිනවා නම් පොඩි පොඩි කෑම බීම ටිකක් ලඟ තියාගන්න එක හොඳයි. මොකද නයිටක් ගහනවා කියන්නේ ඇ‍ඟේ ශක්තිය වැයවෙනවා කියන එකනේ. ඉතින් ඒකට හොඳට මැෂින් එකට ඉන්ධන ඕන වෙනවා. අන්න ඒ නිසා නයිටක් ගහනකොට කීප වතාවක් කන්න ඕන වුනත් හිත හිතා ඉන්න එපා. බොහොම කෙටි කෑම වේලක් ගන්න. හැබැයි ප්‍රෝටීන් ඩයට් එකක් මිසක් කාබෝහයිඩ්‍රේඩ් කෑම නෙවෙයි.

එතකොට රෑටත් ටිකක් හොඳ බර කෑම වේලක් ගත්තට කමක් නෑ. ඒත් මතක තියාගන්න. ඉස්සරවෙලත් කිව්ව වගේ නයිට ගහන්න ඉන්නවා නම් කාබෝහයිඩ්‍රේඩ් නැත්නම් පිෂ්ටය වැඩියෙන් තියෙන කෑම හරියන්නෙ නෑ. නයිටක් ගහන්න ඉන්නකොට රෑට ගන්න ඕන හයි ප්‍රෝටීන් කෑමවේලක්. ඒ කියන්නේ ගොඩක් අය කරන විදියට සැන්ඩ්විච්, පීසා වගේ ඒවා හරියන්නෙ නෑ.

අනික් වැදගත්ම කාරණය. හොඳට වතුර බොන්න!

 

5. කෝපිත් ඕන තමා
Source – talentegg.ca

රෑ ඇහැරිලා වැඩ කරනවා කියන්නේ ඉතින් කෝපි අනිවා දෙයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. කෝපි බොන්නෙ නැති කෙනෙක්ට වෙන කැෆීන් අඩංගු පානයක් වුනත් අවුලක් නෑ. ඇත්තම කිව්වොත් ඔය එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙන්නේ. ඒවා එහෙමත් රෑ පුරා ඇහැරිලා ඉන්න හොඳ බූස්ට් එකක් දෙනවා. හැබැයි මතක තියාගන්න, හැමදාම පාවිච්චියට නෙවෙයි.

හැබැයි හිතන්න ඕන තව දෙයක් තියෙනවා. දවස පුරාම කෝපි බිව්වොත් රෑට ඇහැරිලා වැඩ කරන්න හම්බුවෙන්නෙ නෑ. සරලවම හේතු දැක්වුවොත් අපේ ඇඟ කැෆීන් වලට හැඩගැහෙනවා. ඉන් පස්සේ ඉතින් නිදිමරන්න කෝපි බිව්වා කියලා ඒ හිතන ඉෆෙක්ට් එක ලැබෙන්නෙ නෑ.  ඒ නිසා රෑ නිදිමරන්න කෝපි පාවිච්චි කරනවා නම් කෝපි ඒකට විතරක් තියාගන්න. ඒ වගේම කෝපි වලින් නිදිමරන්න තියෙන සාර්ථකම ක්‍රමයක් තමයි එක පාර ලොකු කෝපි කෝප්පෙකට යන්නෙ නැතුව පොඩි පොඩි ප්‍රමාණවලින් ගන්න එක. ඒ කියන්නේ බොහොම පොඩි ප්‍රමාණ වලින් කෝපි බොන්න පැය දෙකකට සැරයක් වගේ.

 

6. ඇඟට එක්සයිස් වගේම විවේකයත් අනිවා
Source – livelaffshare.com

ඇඟට දැනෙන පොඩි එක්සයිස් පාරක් දානවා කියන්නෙත් රෑ ඇහැරිලා වැඩ කරන්න හොඳ උත්තේජනයක්. අපි කියමු විනාඩි විස්සක විතර වර්ක්-අවුට් එකක් කියලා. හැබැයි මේක අර ඇඟ මහන්සි වෙන විදියේ තීව්‍ර ව්‍යායාම කිරීමක් වෙන්න ඕන නෑ. අපි කියමු පොඩ්ඩක් ඇවිදින්න යනව කියලා. එහෙම නැත්තම් හාවෝ පැන්නත් කමක් නෑ. තමන්ට ඕන දෙයක්. මෙතනදී සිද්ධ වෙන්න ඕන කරන්නේ ශරීරයේ ලේ ගමනාගමනය ක්‍රමවත් කරන එක තමයි.

මේ වගේම තමයි අර විනාඩි විසිපහක් වැඩ කරලා ලැබෙන විනාඩි පහේ ඉන්ටර්වල් එකේදීත් වැඩ කරන්න ඕන. පු‍ටුවේම ඉඳගෙන හිටියට ඒ බ්‍රේක් එකෙන් කිසිම පළක් ලැබෙන්නෙ නෑ. පොඩ්ඩක් නැගිටලා ඇවිදින්න ඕන.

තව දෙයක්. අපි කියමු කම්පියුටර් මොනිටරයක් දිහා බලාගෙන කරන වැඩක් තියෙන්නේ කියලා. එතකොට ඇස් දෙක ඕකෙම අලවගෙන වැඩ නොකර, විනාඩි දහයකට පහළොවකට සැරයක් අහක බලාගෙන ටික වෙලාවක් ඉන්න. ඒකෙන් ඇස් දෙක වෙහෙස වීමත් මග ඇරෙනවා. ඇස් දෙක ගොඩක් වෙහෙසෙනකොටත් නිකම්ම නිදිමත වගේ එනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

 

7. වටපිටාවත් හරියට නයිට ගහන්න හදාගන්න
Source – nytimes.com

නයිට ගහන්න සෙට් වෙනවා නම් තමන්ගේ වටපිටාව හොඳට හදාගන්න එක වටිනවා. ඔ‍ෆිස් එකකදී නම් ඇඳක් පේන්න නෑනේ. හැබැයි දැන් ගෙදරදී නම් ගොඩක් අය නයිට් එක අදින්න ‍තෝරගන්නේ තමන්ගේ කාමරේනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇඳ දැක්කහම හිතෙනවා හීනියට නිදි පාරක් දාන්න ඕන කියලා. ඇයි අපි කියලත් තියෙනවනේ අර පැය බාගේ -පැයේ පවර් නැප් එකක් ගන්න කියලා. හැබැයි එහෙම හිතාගෙන එලාම් එහෙම තියලා ඇඳට වැ‍ටුණට පස්සේ ආයි ඇහැරෙන්නේ අහළ පහළ කුකුල්ලු හඬලලා ඇතිවෙලා කූඩුවලටත් රිංග ගත්තට පස්සේ. වෙනදට ඇහැරෙන වෙලාවත් පහුවෙලා. ආන්න ඒක නිසා නයිට් එක වැඩ කරන්න වෙන තැනක් යොදාගන්න එක වඩා හොඳයි. අනික හොඳට ආලෝකය තියෙන, හොඳට වාතාශ්‍රය තියෙන පරිසරයක් වෙන්නම ඕන. අඩු ආලෝකයක් තියෙන තැනක් වුනොත් එකක් වැඩ කරන්න අමාරුයි, අනික දන්නෙම නැතුව නිදිමත ගතියක් එන එක වළක්වන්නත් බෑ.

 

බෝනස්

හැබැයි කරනවා නම් මේ හැමදේටම වඩා හොඳ ප්ලෑන් එකක් තියෙනවා. වැඩක් නැට්ටට හිරවෙනකල් ඉන්නේ නැතුව බොහොම ඥාණවන්ත විදියට කලින්ම ප්ලෑන් කරගන්න. දැන් ප්ලෑන් එකේ විදියට කාලය සහ අනික් වැඩ කලමනාකරණය කරගෙන, දවසේ වැඩකරන්න තියෙන වෙලාව අතරතුරදී වැඩේ ගොඩදාගන්න. ඉන් පස්සේ දෙයියනේ කියලා නිදාගන්න තියෙන වෙලාවට නිදාගන්න!

 

හැබැයි මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. මෙහෙම නයිටක් ගැහුවට පස්සේ ඊලඟ දවසේ ඇඟට සහ මොළේට විවේකයක් දෙන්නත් ඕන. ඒකට ඊලඟ දවස ඇතුළේ කරන්න දේවල් තියෙනවා.

 

1. පොඩි නින්දක් ගන්න, මතක තියාගන්න දිග නින්දක් ගත්තොත් අවුල් ගතිය වැඩි වෙනවා. ඒ නිසා විනාඩි 10 – 30 ක් වෙනකල් නින්දක් ගන්න.
2. ඊලඟ පැය විසිහතරේ වාහන එළවනවා වගේ දේවල් නොකර ඉන්න
3. උදේම වොෂ් එකක් එහෙම අරගෙන ෆ්‍රෙෂ් වෙන්න
4. කෝපි හරි වෙනත් කැෆේන් අඩංගු පානයක් හරි ගන්න
5. එක්සයිස් පාරක් දාන්න, බැරිමනම් පොඩ්ඩක් ඇවිදින්න හරි යන්න
6. එක පාර වැඩ කීපයක් කරන එක කේස්. ඒ නිසා එක පාරට එක වැඩක් කරන්න
7. එදාට හරිම වෙලාවට නිදාගන්න යන්න

 

Cover Image Source – linux.com



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here