වෙන ඕනම ලෙඩකට වඩා ඉක්මනින් ඔබව මරාදමන්නට සමත් මේ සින්ඩ්‍රෝමය ගැන ඔබ දැන සිටියාද? මේ වාඩිවී සිටීමේ රෝගයයි! – Hela FM Media

0
12


 

මේ ආටිකල් එක කියවන්නේත් පු‍ටුවේ ඉඳන් නෙවෙයිද? ඇත්තටම හිතලා බැලුවොත් අපි දවසින් පැය කීයක් වාඩිවෙලා ඉන්නවද? සාමාන්‍ය කාර්යාලීය ‍රැකියාවක් කරන මනුස්සයෙක්ව ගමු. ඔ‍ෆිස් යන්නේත් ගොඩක් වෙලාවට වාහනේක හරි බස් එකක හරි වාඩි වුණු ගමන්. ගියාට පස්සේ දවසේ වැඩ පැය අටෙන් අඩුම තරමින් පැය හතක්වත් ගත වෙන්නේත් වාඩි වුණු ගමන්ම. ඉන් පස්සේ ගෙදර එන්නේත් වාඩි වෙලා. ගොඩක් වෙලාවට ගෙදර ඇවිත් නාලා කාලා ආයෙමත් වාඩිවෙන්නේත් ටීවී එකට. කන්නෙත් වාඩි වෙලා. අන්තිමට නිදියන වෙලාව විතරයි වාඩිනොවී දිග ඇදිලා ඉන්නේ. නරකම දේ තමයි නවීන තාක්ෂණය නිසා හැමදේම පු‍ටුවෙන් නැගිටින්නේ නැතුව කරගන්නත් පුලුවන් වීම. දැන් මේ වාඩි වෙලා ඉඳිල්ල කොහොමද මාරාන්තික වෙන්නේ? අන්න ඒ ගැන තමයි මේ කතාව.

 

1. මොකක්ද මේ වාඩිවී හිඳීමේ රෝගය කියන්නේ?
Source – ndtv.com

ඇත්තම කියනවා නම් පු‍ටුවේ වාඩිවෙලා හිටියා කියලා දවසක අපි මැරිලා වැටෙන්නේ නෑ. හැබැයි අපිව මරාදාන්න පුලුවන් වෙන ලෙඩරෝග තොගයක් අනිවා දායාද කරන්න පුලුවන් මේ පු‍ටුවේ වාඩිවෙලා ඉන්න ඉඳිල්ලට. හෘද රෝග, දියවැඩියාව, අධික තරබාරුව විතරක් නෙවෙයි, පිළිකා පවා මේ ලෙඩ ලැයිස්තුවේ තියෙනවා. දැන් කෙනෙක් අහන්න පුලුවන් කවුද මේක ලෙඩක් කියල හොයාගත්තේ  කියලා. හරි ඉතින්. දැන් මනුස්සයෙක් කකුල පැටලිලා ලිඳට වැටිලා මළොත් අපි කියන්නේ නෑනේ මනුස්සයා මැරුණේ කකුල පැටලුණු නිසා කියලා. අපි කියන්නේ මනුස්සයා ලිඳට වැටිලා මලා කියලා. හැබැයි ලිඳට වැටෙන්න හේතුව තමයි කකුල පැටලීම. ආන්න ඒ වගේ තමයි මේ ලෙඩේත්. තාමත් නිල වශයෙන් පු‍ටුවේ ඉඳගෙන හිඳීමේ සින්ඩ්‍රෝමය කියලා එකක් හොයාගෙන නෑ. හැබැයි වර්තමාන ලෝකය දිහා බලනකොට මේක බරපතළ තත්ත්වයක් කියලා ලෝකේ පුරා වෛද්‍යවරු කියනවා!

 

2. මේක ලෙඩක් වෙන්නේ කොහොමද?
Sitting Disease
Source – ask-thenutritionist.com

දැන් හිතන්න මනුස්සයාගේ පරිණාමයත් එක්ක. මිනිස්සු පරිණාමය වෙලා තියෙන්නේ ඇවිදින, චලනය වෙන සත්තු විදියට. අපි අපේ පහසුවට මොන තරම් යන්ත්‍ර සූත්‍ර හොයාගත්තත්, වාහන නිර්මාණය කලත් තාමත් අපි කකුල් දෙකෙන් ඇවිදින්න ඕන සත්තු විදියට තමයි ඉන්නේ. දැන් එතකොට හිතන්න වර්තමානයේ අපේ තියෙන ජීවන රටාවත් එක්ක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි නිකම් කූඩුවක හිර කරපු සත්තු වගේ වෙලා නැද්ද? හරියටම කිව්වොත් අපේ සුඛෝපභෝගී, පහසු ජීවිත කියන කූඩු ඇතුලේ අපි හිරවෙලා ඉන්නේ. ඉතින් ඇවිදින්න, දුවන්න, පනින්න ඕන සතෙක් පු‍ටුවක් උඩ හිරකරලා තිබුණහම ඒක ලෙඩ ගණනාවකට මුල පුරන ලෙඩක් වෙන එකක් නැද්ද?

 

3. හරියටම අවදානම ගැන කතා කරමු
Sitting Disease
Source – newyou.com

පර්යේෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා ජීවිතේ වැඩිකාලයක් වාඩි වෙලා හිඳීම කියන එක තනි රෝගයක් විදියට සලකන්න බැරි වුනත්, ඒකෙන් සෞඛ්‍යයට මාරාන්තික තර්ජනයක් සමස්තයක් විදියට එල්ල වෙනවා කියලා. ඒ කියන්නේ අධික තරබාරුව සහ පරිවෘත්තිය පද්ධතියේ රෝග කෙලින්ම මේ නිසා නිර්මාණය වෙනවා. අධික තරබාරුව කියන්නේ ආයෙමත් රෝග ගණනාවක එකතුවක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එතකොට වැඩි රුධිර පීඩනය, වැඩි රුධිර සීනි මට්ටම, වැඩි මේද ප්‍රමාණයක් වගේ තත්ත්වයන් මේ නිසා ඇතිවෙනවා. කොටින් කියනවා නම් ලෙඩකින් මැරෙන්න තියෙන අවධානම මේ නිසා වැඩි වෙනවා.

ගණන් හිලව් ඇතුව කිව්වොත් ඕනෑම ලෙඩකින් මැරෙන්න තියෙන අවදානම මේ ජීවිතේ වැඩිකාලයක් ඉඳගෙන හිඳීම නිසා 50% කින් වැඩිවෙනවා.

එතකොට හෘදය සම්බන්ධ ඕනෑම රෝගයකින් මැරෙන්න තියෙන හැකියාව 125% ක ප්‍රමාණයකින් වැඩි වෙනවා.

තේරෙනවා නේද මේ ගණන් හිලවු සෙල්ලං නෑ කියලා!

 

4. මේක හොයාගන්නේ කොහොමද?
Sitting Disease
Source – es.vida-estilo.yahoo.com

දුස්සාධ්‍ය ලෙඩ රෝග සහ සෞඛ්‍ය තත්ත්වයන් 34කට ඉඩ හදන මේ දවසින් වැඩි වෙලාවක්, ජීවිතෙන් වැඩි කාලයක් වාඩි වෙලා ඉන්න රෝගය අපිටත් තියෙනවද කියලා අඳුනගන්නේ කොහොමද? ක්‍රම හතරක් තියෙනවා.

එකක් තමයි ගමන් විලාසය. ඒ කියන්නේ අපි අර අත්, උරහිස් එල්ලා වැටෙන විදියේ ගමනකට හුරු වෙලා නම් ඒකට හේතුව අර කියන රෝගය වීමේ හැකියාව වැඩියි. සමහර වෙලාවල් තියෙනවා, මහන්සි දැනුනහම අපි ඕනම කෙනෙක් එහෙම ඇවිදිනවා. ඒත් මේ කියන්නේ ඒ විදියට ඇවිදීම හුරුවක් වීම ගැන. එතකොට ඇ‍ඟේ නම්‍යශීලීත්වය නැතිවෙලා කියලා දැනෙන්න ඕන. ඉණෙන් නැවෙන්න, දෙපැත්තට කැරකෙන්න එහෙම බැරි තැනකට ඇවිත්. ගොඩක් වෙලාවට ඉස්සරහට කුදු වෙලා හිඳීමත් වෙන්න පුලුවන් දෙයක් මේ වෙනකොට.

ඊලඟට කොන්ද සහ පි‍ටුපස නිරන්තර වේදනාව. ඒ කියන්නේ මොකක් හරි වෙන ලෙඩක් නිසා ඇතිවෙන වේදනාවක් නෙවෙයි. පොදුවේ නිරන්තරයෙන් හරිම අපහසු හැඟීමක් දැනීම සහ කැක්කුම ඇල්ලීම. මෙහෙම වෙනකොට ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා ඔ‍ෆිස් පු‍ටුවේ පුලුවන් තරම් පහසු ඉරියව්වක් හොයාගන්න. හැබැයි බැරි වෙනවා.

සැපපහසු පු‍ටුවටත් වඩා කුෂන් කරපු පු‍ටුවක් වගේ මහත් වෙන්න ගන්නවා කියන්නේ අනිවා මේ වාඩි වෙලා ඉන්න ලෙඩේ සෑහෙන්න දුරක් ඇවිල්ලා කියන එක තමයි. අධික තරබාරුව කියන්නේ ඊලඟට එන ලෙඩ තොගයක පෙරගමන්කරු.

ශරීරය දුර්වල බවක් දැනෙනවා නම්, වැඩකටයුතු වලට අවධානය යොමුකරන්න අමාරුයි කියලා දැනෙනවා නම්, දවසින් වැඩි කාලයක් පු‍ටුවේත් ගත කරනවා නම් ඒ කියන්නේ තමන්ගේ ජීවන රටාව ගැන සීරියස් හිතන්න කාලය ඇවිත් කියන එක.

 

5. අද ඉඳන් නැගිටිමු!
Sitting Disease
Source – handandarminstitute.com

ගොඩක් දෙනෙක් මේක කියෙව්වට පස්සේ කරන්නේ ජිම් එකකට යන්න මෙම්බර්ෂිප් එක ගන්න එක, නැත්නම් උදේට උදේට ඇවිදින්න යන එක. හැබැයි අර දවසෙන් වැඩිහරියක් වාඩි වෙලා ඉන්න පුරුද්ද කඩන්නේ නෑ. ඔන්න පර්යේෂකයෝ කියනවා ඒකෙන් කිසිම වෙනසක් වෙන්නෙ නෑ කියලා.

  • මේ තත්ත්වය වළක්වා ගන්න කරන්න තියෙන පළවෙනි දේ තමයි වෛද්‍යවරයෙක් මුණගැහෙන එක. ඇයි? දැනටම තියෙන ලෙඩ රෝග මැජික් බලෙන් නැතිවෙන්නෙ නැහැනේ. ඒ නිසා ඒවලට කරන්න තියෙන දේවල් කරන්න ඕන.
  • ඊලඟට ජිම් එකට යන්න මෙම්බර්ෂිප් එකක් ගන්න එක, උදේට උදේට වෝකින් පාරක්, ජොගින් පාරක් දාන එකත් අනිවා කරන්න ඕන දෙයක්. විශේෂයෙන්ම තරබාරුකමින් පෙළෙනවා නම් ඒකෙන් මිදෙන්න ක්‍රමයක් හදාගන්න ඕන.
  • කෑම බීම රෙගියුලේට් කරන එකත් මේකට අදාළ නෑ කියලා හිතුනත් අදාලයි. එළවළු වලින් ජූස් හදලා බීමේ ඉඳන්, අධික සීනි ආහාර, අධික තෙල් ආහාර අත ඇරීමේ ඉඳන් පෝෂ්‍යදායී ආහාර ගැනීම දක්වා කෑම බීම රටාව වෙනස් කරගන්න ඕන. වෙලාවට කන්න හුරුවෙන්න ඕන.
  • දැන් හරියටම වාඩි වෙලා ඉන්න ලෙඩේ හොඳ කරන්න නම් කරන්න තියෙන සරලම දේ තමයි ආයෙමත් 1984 ට යන එක. ඒ කියන්නේ තමන්ගේ සුවපහසුවට හදපු දේවල් පුලුවන් තරම් ඈත් කරන්න.
  • දාහරණයක් විදියට රිමෝට් කන්ට්‍රෝල් එක අතේ තියාගන්නෙ නැතුව මේසේ උඩින් තියලා තියන්න. කා එක්ක හරි කතා කරන්න ඕන නම් චැට් කරන්නෙ නැතුව කෙලින්ම ලඟට ගිහින් කතා කරන්න.
  • වැඩ කරන ක්‍රමයක් හදාගන්න. පැය බාගයක් වැඩ කලොත් විනාඩි පහක් වැය කරන්න හිටගන්න, පොඩ්ඩක් අත පය හිරි ඇරගන්න. එතකොට වැඩ කලමනාකරණය කරගැනීමත් මේකට ඇතුළත්.
  • ඔ‍ෆිස් එකේ හැමදේම අතට අහුවෙන මානයේ නම් තියෙන්නේ, එහෙම නැතුව වැඩ කරන්න ඉඩ කඩ තියෙන විදියට ඔ‍ෆිස් එක ඇරේන්ජ් කරගන්න. ෆැක්ස් මැෂින් එක අත දික් කරන මානේ තියෙන්න ඕන නෑ. ෆැක්ස් එකක් එනව නං එතනට ඇවිදගෙන යන්න, ගිහින් ෆැක්ස් එක ගන්න.
  • තමන්ගේ වැඩ තමන්ම කරගන්න පුරුදු වෙන්න. වෙනදට දහයට තේ එක මේසේ උඩින් ගෙනත් තියන්න කෙනෙක් ඉන්නවා නං, හෙට ඉඳන් එයාට කියන්න තේ එක ගේන්න එපා කියලා. තමන්ම නැගිටලා ගිහින් තේ එක ගන්න.

තව එක දෙයක් එකතු කරන්න ඕන. අපි මේ හැමදේම කිව්වේ කට්ටියව බය කරලා හාට් ඇටෑක් හදවන්න හිතාගෙන නං නෙවෙයි. ඒත් අපේ වර්තමාන ජීවන රටාව ඇත්තටම හැඩගැහිලා තියෙන්නේ ලෙඩ රෝග ඇති කරන්න මිසක් ලෙඩ රෝග නැතිකරගන්න නෙවෙයි කියන එක අපිට පේන්න තියෙන දෙයක්නේ. මේ වගේ අපි නොහිතන, ඒත් හෙමින් හෙමින් අපිව මරාදාන වැරදි ජීවන පුරුදු නැති කරගන්න එක අමාරුයි තමයි. හැබැයි නිවැරදි ජීවන රටාවකට හුරු වෙලා සෞඛ්‍ය සම්පන්නව වැඩි කාලයක් ජීවත් වෙන්න පුලුවන් කියන්නේ, ඒ ජීවිත කාලේදී කරන්න තියෙන දේවලුත් විසාලයි කියන එක තමා.

 

 
Cover Image Source – bestratedofficechair.com
 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here