සරුංගල්

0
4


වෘක්ෂලතාවෝ නව දලු පිණිස පැරණි පත් හළන්නාක් මෙන් රාත්‍රිය නව හිරු පිණිස මලානික තරු නිවා දැම්මේ ය. ඒ අතරතුර හිරුගේ පැමිණීම ලොවට කියන්නාක් මෙන් පෙරදිග අහස ළා රන් පැහැ සිනිඳු සේලයකින් සැරසුණි. ජීවිත කාලය පුරා ම මල් වෙනුවෙන් කැපවු සමහරක් ගස් රැයක් පුරාවට විළිලා නව මල් පුබුදුවත්දී ඒ රෑ පුරාවට අඳුර හා සිනාසුණ සේපාලිකාදී පුෂ්පයෝ නටුවලින් ගිලිහී බිම සිපගන්නට වෙති. රාත්‍රියට, අඳුරට ශාප කළ කෘමීහු උදයේ පිපෙන මල් හා එක්ව සතුටු වෙති.

ස්වභාව ධර්මය අපූරු ය. කිසිවෙකුටවත් වළක්වාළිය නොහැකි ස්වභාවයේ පැවැත්ම තුළ කාලය ගෙවී යයි. ඒ අතරතුර හිරු සිය පළමු රැස් දහර විදාහළේ විය. විසල් තරු අතරින් පෙරී පැමිණි ළපටි හිරු රැස් ගජනායක වලව්වේ අවපැහැගත් පැරණි බිත්ති විසින් ගිලගත්තාක් මෙන් වලව්වත්, වලව්වත්තත් පුරා අඳුරු මූසල ස්වභාවයක් ම පළ කරන්නට විය.

වලව්වේ ළමාතැනී, වයසක ඩල්සි නෝනා උදැසන අවදි වුයේ පාළු වලව්ව සිසාරා නැගුණු පියානෝ වාදනය නිසාවෙනි. සිය ස්වාමීයා ඇඳෙහි අනෙක් පස නොවනු දුටු ඕ කිමෝනා ස්වරූපයේ දිගු ගවුම මනා ව සකස් කොට ගෙන ආලින්දයට පිවිසියා ය.

“සුභ උපන් දිනක් වේවා…

සුභ උපන් දිනක් වේවා…”

එඩ්වඩ් ගජනායක සිය බිරිඳ ව පුදුමයටත්, සතුටටත් පත් කරමින් පියානෝව වාදනය කරමින් ඉංග්‍රිසියෙන් ගායනා කළේ ය.

“එඩ්වඩ් ඔබට ස්තූතියි. ඇත්තට ම ඔබ ආදරණීය ස්වාමිපුරුෂයෙක්.”

මහලු ගැහැනිය ද මහලු ස්වාමියා ව වැළඳගෙන සිය සතුට ප්‍රකාශ කළා ය. ඇත්තෙන් ම මේ ජවනිකාව පැරණි ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක කොපියක් සිහිකරන්නාක් මෙන් විය.

“හැත්තෑ පහක්. ඒත් එදා වගේ ම යි.”
“බොරු කියන්නෙපා මම නාකිවෙලා.”

මහලු ගැහැනිය කීවේ තම අවංක අදහස නම් නො වේ. ඔවුහු මහ හඬින් සිනාසෙන්නට වූහ. වලව්වේ ඝනකම බිත්ති අතර සිරව ගිය ඒ හඬ කුස්සියේ සිටි එමලිනාටවත් ඇසුණා නො වේ.

“එඩ්වඩ් දැන් එයාල කථා කරාවි. ඔයා ෆෝන් එක ළඟ ම ඉන්න. ඔන්න එයාලා කථා කරපු ගමන් මට කථා කරන්න ඕන. මං යනව මට ගොඩක් වැඩ තියෙනවා අද.”

මැහැලිය ආලින්දයෙන් පිට වූවා ය.

“කේක් එක කපන්නේ කීයට ද?”

මහල්ලා කෑ ගසා ඇසුවේ ය.

“අටයි දහයට. එඩ්වඩ් ඔයාට හැමදාම ඕක මතක් කරන්න ඕන. මේ කිව්වෙ පනස් දෙවෙනි අවුරුද්දට.” යි මැහැල්ල ද උස් හඬින් පිළිතුරු දුන්නා ය.

මෙහෙකාරිය වූ එමලිනා විසිතුරු ලෙස සරසන ලද කේක් ගෙඩියක් හා ඉටිපන්දම් කිහිපයක් රැගෙන විත් සෝපාව සමඟ වූ කුඩා ස්ටූලය මත තබා නිහඬ ව ම පිටව ගියා ය. මහල්ලා ඒ ඉටිපන්දම් කේක් ගෙඩිය හා සම්බන්ධ කොට ආලින්දය කෙළවර මේසයක් මත රෙදි බෝනික්කන්ට අලුත් ඇඳුම් අන්දවන බිරිඳ දෙස බැලුවේ ය.

“එඩ්වඩ් එන්න ෆෝන් එකේ සද්දෙ මෙතනට ඇහෙනවනෙ.”

මහල්ලා ඊට අවනතව මැහැලිය වෙත සෙමින් ඇවිද ගියේ ය.

“මේ ටෙනිසන්ගෙ අලුත් ඇඳුම. එයා කොහොමටත් ළා නිල් පාටට කැමති යි.”

අඩි දෙකක් පමණ උසැති පිරිසේ ලොකු පිරිමි බෝනික්කා දෙමහල්ලන්ට සිය ලොකු පුතු සිහිකරමින් ආලින්දයේ සෝපාව මත හැමදාම හිඳින්නෙකි. තවත් බෝනික්කෝ තිදෙනෙක් වෙති. එකක් පිරිමි එකකි. දෙකක් ගැහැනු බෝනික්කෝ වෙති. ඒ සියල්ල සිය දරුවන් වෙනුවට ය.

“අයෝමගෙ කොණ්ඩෙ ටිකක් අවුල් වෙලා නේ ද?”

“කෝ මං හැමදාම පීරනවා. ඒ උනාට හිටින්නෙම නැහැනෙ.”

උදෑසන අටවෙත්දී උපන් දින සාදයට සියල්ල සූදානම් ව පැවතිණි. මහලු ඩල්සි නෝනා තුළ කනස්සල්ලක් ව පැවතුණේ එතෙක් එකදු දරුවෙකු හෝ දුරකථන ඇමතුමක් නොදීම සම්බන්ධයෙන් පමණි.
ඉස්මෝක් කොට රිදී පැහැ නූලකින් හැඩ දැමු සුදු පැහැ උපන්දින ඇඳුමින් සැරසුණ මැහැල්ල මුතු පටක් ද සිය රැලි වැටුණු ගෙල වටා බැඳගෙන ආලින්දයට පිවිසියා ය. ඒ වන විට කෑම වර්ග කිහිපයක් ද එමලිනා විසින් කුඩා ස්ටූලය මත තබා තිබුණි.

සුපුරුදු පරිදි දිගු සෝපාව මත බෝනික්කන් හතර දෙනා පිළිවෙළට තබා තිබුණි. ඔවුනට ඉදිරියෙන් මහලු යුවළ අනෙක් කුඩා සෝපා කොටස් දෙකේ හිඳ සිටි අතර මෙහෙකාර එමලිනා ස්වාමිවරුන් ඉදිරිපසින් බෝනික්කන්ට පසුපසින් සිටගෙන සිටියා ය.

“තව මිනිත්තු පහයි තියෙන්නෙ. ඔයා දන්නව ද එඩ්වඩ් මම ඉපදුණ දවසෙ ඉඳල අපේ පැත්තට කිරි ඉතිරෙන්න පටන් ගත්තලු.”
මැහැලිය කීවේ හිස ද සලමිනි.

“මම ඉපදුණාමත් එහෙම ම තමයි කියලා අපේ පැත්තෙත් කියනවා. ඒක නෙමෙයි ඩල්සි මම මේ කල්පනා කළේ කෝ මේ ළමයි එක්කෙනෙක්වත් තාම කථා කළේ නැහැනෙ. ඒ අයට අමතක වෙලාවත් ද?”
“එඩ්වඩ් කලබල වෙන්නෙපා. ඒ අයට වැඩ ඇතිනෙ. තව ටිකකින් ඔක්කොමලා කථා කරාවී.”

මැහැලිය කීවේ බිත්තියේ වූ ඔරලෝසුව දෙස බලමිනි.

“අනේ රත්තරන් ඔරලෝසුවක් බැඳගෙන ඔයා මේ කබල් බිත්ති ඔරලෝසුවකින් වෙලාව බලනවා.”

ඩල්සි හෙන්නායක පෙම්වතිය ව සිටි කල එඩ්වඩ් විසින් මේ රත්රන් ඔරලෝසුව තිළිණ කළේ ඇගේ විසි එක්වන උපන් දිනය නිමිති කරගෙන පැවති සාදයේ දී ය. ඒ කරුණ එසේ සිහි කරනු වස් මෙවෙලේ එසේ කියන ලද්දේ වෙයි.
“සමා වෙන්න එඩ්වඩ් මට අමතක වුණා. මට දැන් ගොඩක් දේවල් අමතක වෙනවා. මොකද මන්දා.”

“හරි අපිට කේක් එක කපන්න වෙලාව හරි.”

මහල්ලා රිදී පිහිය මැහැලියට දෙමින් කීවේ ය. මැහැලිය කේක් කපද්දී ඇගේ අත වෙව්ලන්නට විය.

“කලබල වෙන්නෙපා.” යි කියූ මහල්ලා එමලිනා සමඟ එකතුව ආයෙම සුභ පැතුම් එකතු කරන්නට විය.

කේක් කෑල්ලක් අතට ගත් ඩල්සි ගජනායක එඩ්වඩ් ගජනායකට කැව්වා ය. මහල්ලා ද මැහැලියගේ අතින් කේක් කෑල්ල ගෙන පෙරළා ඈට කැව්වේ ය. එමලිනාගේ අතට ද කේක් කෑල්ලක් ලැබිණ. එමලිනා පහත් වී ස්වාමි දියණියගේ දෙපා වැන්දා ය.

“නැගිටපන්. මොකද ඔය ඇස්වල කඳුළු?”

“සතුටට.”

“සතුටට?”

“ඔව් මැඩම්. හැත්තෑපහක් කියන්නේ ලොකු ගාණක්.”

එමලිනා නොනැගිට ම කීවා ය.

“උඹ බයවෙන්නෙපා මම තව අවුරුදු දහයක් ඉන්නවා.”

“නෑ විසිපහක්”

“එච්චර කල් ඉන්න බෑ එඩ්වඩ්.”

මැහැලිය සෝපාවේ හිඳ ගනිමින් කීවා ය.

“ඔයාට මං ලස්සන ගිෆ්ට් එකක් දෙනවා.” යි කියූ මහල්ලා මැහැලියවත් ඇදගෙන පියානෝව ළඟට ගියේ ය.

“ලස්සන සින්දුවක්. ඔයා ප්ලේ කරන්න. මම කියන්නම්.”

පියානෝ වාදනයෙහි අතිශය දක්ෂ වූ ඩල්සි ගජනායක සිය වෙව්ලන ඇඟිලි තුඩුවලින් වාදනය කරත්දී එඞ්වඞ් ගජනායක සිය ගැයීම ආරම්භ කළේ ය.

“ගේ කිරිල්ලී…
කව්රුත් යත්දී ඉගිල්ලී
තනියම සිටියා නොසෙල්ලී
ගේ කිරිල්ලී…”

පියානෝ වාදනය අත්හල මැහැලිය මෙවෙලේ තාලයට අත්පුඩි ගසන්නට වූයේ ගැයුමට උචිත අන්දමින් වාදනයක් කිරීමට නොහැකි තරමට ඇගේ සිත වේදනාවට ලක්ව තිබූ නිසාවෙනි. එමලිනා ද ස්වාමි දියණියට අනුව යමින් අත්පුඩි ගසන්නට වූවා ය.

“තුඩින් අහර ගෙන පියඹා ඇවිදින්
තුඩින් තුඩ තියා කැවූ පෙවූ
පැටවුන් ගියමුත් ඉගිල්ලී
වියළි පරැඬලා කූඩුවේ තනියට
ඈ පමණයි ගේ කිරිල්ලී…

අහසේ කරණම් මෙහෙමයි කියලා
පියඹන්නට ගුරුහරුකම් දුන්
පැටවුන් දුරු රට ඉගිල්ලී
පියා වාරු නැති දවසෙත් තනියට
ඈ පමණයි ගේ කිරිල්ලී….”

“නවත්වන්න එඩ්වඩ්. ඕක නවත්වන්න. මගේ හිතට හරි දුකයි. කෝ තාම කවුරුවත් කථා කෙරුවෙ නැහැනෙ.” යි කියූ මැහැලිය නැගිට ගොස් ඡායාරූප වෙළුම් කිහිපයක් රැගෙන ආවා ය.

“මේ බලන්න අපි එයාලගේ උපන්දින සමරපු හැටි. කෝ මේ කිසි කෙනෙකුට ඒවා මොනවත් මතක නැහැනේ.”

“ඇයි අපේ දරුවො අපිට මෙහෙම කරන්නේ?” එඩ්වඩ් ද කීවේ බලවත් කලකිරීමෙනි.

“බේබිලා කෝල් කරාවි මැඩම්. තාම ඒ රටවලට එළිවෙලා නැතුව ඇති.” එමලිනා හදිස්සියේ මතක් වූවක් ලෙසින් කීවේ කලබලයෙනි.

“ඕ.. ඇත්තනේ එඩ්වඩ් අපිට ඒක අමතක වුණානේ.” දෙමහල්ලන්ගේ මුවඟ ආයෙම හිනාවක් ඉපදිණි.

“අපි කමු. එයාලා ඉක්මනට කෝල් කරාවි.”

ඔවුන් උදෑසන ආහාරය සඳහා හෝරාවකට ආසන්න කාලයක් ගතකර තිබුණි. ඒ අතරතුර හෝ දරුවන් වෙතින් ඇමතුමක් නොලදමුත් ඔවුන් බලාපොරොත්තු අත්නොහැර ම නිදන කාමරයට යන ලදී.

මැහැලිය සෙමෙන් තම ඇඳුම් අල්මාරිය විවෘත කළා ය. නැඟුණු පුස් ගඳින් කමරය පිරී ගියත් ඔවුනට ඒ බවක් නොදැණුනි.

“මේ පළාතෙම තිබුණ හොඳ ම ඇඳුම් මේවා. දැන් කිසිකෙනෙක් අඳින්න කැමති නැහැනේ. නිරායට මං දවසක් කිව්වම ‘අම්මට පිස්සු’ කියලා මට හිනා වුණා.” අනතුරුව මහල්ලා ද තම ඇඳුම් අල්මාරිය විවෘත කළේ ය.

“ඇයි මේවා…! දිසාපතිවත්, අඩුම ගානේ ආණ්ඩුකාරයෙක්වත් මෙතරම් වටින කෝට් අඳිනවා මම දැකලා නෑ.”

මහල්ලා කීවේ දෙබැම ඉහළට නගා හිස සලමිනි. මැහැලිය ද එය අනුමත කරනු වස් හිස සලන්නට වූවා ය.

රාත්‍රිය ද එළඹිණ. මහල්ලා පමණක් පිජාමා ඇඳුමත් ඇඳ ගති. ඩල්සි ගජනායක ලමාතැනී උපන්දින ඇඳුමින් ම පසු වුවා ය. උදෑසන ඔවුන් තුළ වූ උද්යෝගය, සතුට අතුරුදන්ව පැවතිණි.

“දරුවො අපිට මෙහෙමයි කරන්නේ.” මැහැලිය සුසුම් පිට සුසුම් හෙළන්නට වුවා ය. ඇය ව අස්වසන්නට කිසිවෙකු ඉදිරිපත් නොවුණි.

“එඩ්වඩ් මාව ඉක්මනට මැරේවි. එහෙම වුණොත් මගේ අන්තිම කැමැත්ත එයාලට දන්වන්න.”

මහල්ලා තුළ ද ජීවත් වීමේ ආශාවක් ඉතිරිව නොතිබිණි. එහෙයින් හෙතෙම නිහඬ ව අසා සිටියේ විය.

“එයාලට කියන්න මං මැරුණට පස්සෙදි මගේ මිනිය හතර පැත්තෙන් එයාලගේ දරු පවුල් එක්ක මිනිත්තු පහක් හිටගෙන ඉඳලා යන්න කියලා. එච්චරයි.”

“අනේ මැඩම්…”

එමලිනා ඉකිගසා අඬන්නට වූවා ය. ඈව අස්නොවැසූ ඩල්සි ගජනායක හදිසි පණක් ලද කලෙක මෙන් නැගී සිට වේගවත් ගමනින් පියානෝව ළඟට ගොස් හිඳ ගත්තා ය. සෙස්සන් ද ඈට ළං විය. දෑස් පියාගත් මැහැලිය පියානෝව වාදනය කරමින් ගයන්නට වූවා ය.

“සුළඟට හාදු තියා උඩ ආකාසේ
කරණම් ගැසූ වලාකුළු අතරේ
රැලි බිඳී ගිය සරුංගල් තනි වී
ඉකිබිඳී මහපොළවේ
වසන්තේ සිහිනයක් පමණක්දෝ
සිත රැවටූ මායාවේ…

පරක් තෙරක් නැති අනන්ත සාගරයේ
සුසුම් රළ නැග බිඳේ හද ගැඹුරේ
අත් තටු බිඳී අසරණ වෙලා…
ඉගිලෙමි කෙසේ තව ජීවිතේ පැටලේ..

එක තරුවක් නැති අනන්ත ආකාසේ
මතක සැමරුම් ඉකිබිඳී රහසේ
අත්වැල් බිඳී අසරණ වෙලා…
මහගිරි දඹේ මුල ජීවිතේ නැවතී…”

ඇගේ වේදනාත්මක ගීත රාවය ගජනායක වලව්වෙන් නැගී අනන්ත ආකාශය පුරා සීමා මායිම් නොමැතිව පැතිර යන්නට විය.

පසුවදන –
මේ ගජනායකලාගේ කතාව පමණක් ම නො වේ. ඔබගේ ද කතාව විය හැක. කාමයෝ තාවකාලික ය. ධර්මය අකාලික ය.

 

The post සරුංගල් appeared first on MAHAMEGHA.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here